අර්ජුනයි ටිරානුයි මගෙ පස්සෙන් ආපු අය - සරත් ෆොන්සේකා

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංධානයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග මෙම සාකච්ඡාව ඔහුගේ දේශපාලන ක‍්‍රියාමාර්ග හා අනාගත දේශපාලන ජීවිතය පිළිබඳවය.


ප‍්‍රශ්නය:- ඔබ ඔබේ වර්තමාන දේශපාලන තත්ත්වය විග‍්‍රහ කර ගන්නේ කොහොමද?


පිළිතුර:- අපි දැනට කරගෙන යන්නේ විපක්‍ෂය ඒකරාශී කිරීමයි. මම විශ්වාස කරනවා දැන් විපක්‍ෂය ඒකරාශි විය යුතුයි. මේ දුෂිත රජයට විරුද්ධව බලවේගයන් හැදිය යුතුයි. ඒ අරමුණෙන් තමයි මම දේශපාලනය කරන්නේ. විරුද්ධ පක්‍ෂයේ තියෙන සමහර පක්‍ෂ තනි තනිව වෙනම ගමනක් යන්න හදනවා. නමුත් ඒක සාර්ථක වෙලා නෑ. විරුද්ධ පක්‍ෂයේ සමහර පක්‍ෂ යන ඒ ගමන අසාර්ථකයි. මම 2010 දී ජනාධිපතිවරණයට ආවේ විපක්‍ෂය ඒකරාශි කරන්නයි. ඒ එකමුතුබව නැවත ලබාගෙන මේ දුෂිත පාලනය… මේ දුෂිත පාලනය ගෙදර අරින දේශපාලන ගමනක් යා යුතුයි. ඉතින් ඒ අතරෙම විරුද්ධ පක්‍ෂ එකමුතු වෙනකම් මට නිකම් පා වෙවී ඉන්න බැරි හින්දා මම උත්සහ කරනවා දේශපාලන පක්‍ෂයක් හදාගන්න. ආණ්ඩුවටත්, විරුද්ධ පක්‍ෂවලටත් ඡන්දය නොදුන්න ජනතාවක් ඉන්නවා සියයට 50ක්. ඒක තුන් වැනි බලවේගයක් හැටියට මේ රටේ තියෙනවා. ඒක සැඟවුණ බලවේගයක්. ඒ බලවේගය එළියට නාවොතින් මේ ආණ්ඩුව පෙරළනන්න බෑ. ඒ බලවේගය එළියට ගන්න වෙනම පෙරමුණක් සංවිධානයක් මම හදාගෙන යනවා. ඒ සඳහා මට මගේම වූ පක්‍ෂයක් අවශ්‍යයි. ඒ අතරම විරුද්ධ පක්‍ෂය එකතු වෙන්න ඕනෑ කියන අධිෂ්ඨානයේ මම ඉන්නවා. විරුද්ධ පක්‍ෂයේ සමහරු මාව විවේචනය කරන්න හැදුවත් විවිධ න්‍යාය පත‍්‍ර නිසා මම ඒ අයව විවේචනය කරලා නෑ.

ප‍්‍රශ්නය:- ඔබ විරුද්ධ පක්‍ෂ සමගි කරන්න කතා කළත් ඔබේ පක්‍ෂයත් සමගි නෑනේ. ඔබේ පක්‍ෂයේ අය ඔබව අත්හැරලා දාලා යනවනේ. ඒවා එහෙම වෙන්නේ කොහොමද?


පිළිතුර:- ඔය අතහැරලා යනවා කියන්නේ මගේ පක්‍ෂය නොවෙයි. මට පක්‍ෂයක් තාම නෑනේ. පක්‍ෂය ලියාපදිංචි කරන්න හැදුවට ඒක වෙලා නෑ. එතැනදි එකතු වුණ යම් යම් පුද්ගලයන් ප‍්‍රතිපත්ති මත නොපිහිටා එහාට මෙහාට පාවුණාට මම දේශපාලනය කළේ මහ මැතිවරණයේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයෙන්. ඒ සන්ධානයෙන් කවුරුවත් ගිහිල්ලා නෑ. ඒකේ ඔක්කොම ඉන්නවා. එතැන මගේ නායකත්වයත් තියෙනවා මගේ වටේ. මම ජනාධිපතිවරණයට අවාට පස්සේ රැස් වුණා. ඊට පස්සේ අපි මහ මැතිවරණයකට ගියා. එක්සත් ජාතික පක්‍ෂය මටත් මගේ බිරිඳටත් දෙන්නටම ජාතික ලැයිස්තුවෙන් එන්න කියලා කියද්දි මම ඒකට එකඟ වුණේ නෑ. ජනාධිපතිවරණය වෙලාවේ මගේ වටේ හිටපු සමහරුන් කිව්වා ඒ අයට එක්සත් ජාතික පක්‍ෂයට යන්න බෑ කියලා. ඒ පුද්ගලයන් ගැනත් හිතලා තමයි මම වෙනමම ඡුන්දය ඉල්ලූවේ. එවැනි පුද්ගලයන්ගෙන් සමහරු තමයි ඔය මාත් එක්ක බෑ කියලා හැලෙන්නේ. මොකද මම දැන් හදනවා විරුද්ධ පක්‍ෂයේ ඔක්කොමත් එක්ක එකට වැඩ කරන්න. එවැනි වේදිකාවලට මම දැන් නගිනවා. එක්සත් භික්‍ෂු පෙරමුණේ වේදිකාව ඒකට උදාහරණයක්. ඒ වේදිකාවට නගින්න බෑ කියනවා සමහරු. ඒ අය මගේ පිටිපස්සෙන් ඉඳලා චරිත වෙන්න හදපු අයයි. මම වෙනත් අයත් එක්ක සම්බන්ධ වෙනකොට ඒක දරා ගන්න බැරිව මගෙන් ගැලවිලා යනවා. ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. මට ඡන්දය දීපු මා වටා රොද බැඳගත් මහජනතාව ඔවුන්ට අරගෙන යන්න බෑ.

ප‍්‍රශ්නය:- ටිරාන් අලස් මන්ත‍්‍රීතුමා හා අර්ජුන රණතුංග මන්ත‍්‍රීතුමා ඔබෙන් ඉවත්වෙනකොට ඔබ කිව්වේ ඔවුන් ඡන්ද දෙකක් පමණයි කියලයි?


පිළිතුර:- ඒ අය මගේ පිටිපස්සේ හිටියේ. ඒ අයට ජන වරමක් නෑ. ඡන්දයක් දෙකක් අරගෙන මගේ මුවාවෙන් යම් යම් තනතුරු අරගත්ත අය. ඔවුන්ගේ මුවාවෙන් මම කිසිම දෙයක් අරගෙන නෑ. ඒක මේ රටේ ජනතාව දන්නවා. මගේ ළඟට හේත්තු වුණ නිසා ඔවුන් චරිත වුණා. එහෙම අය ගැලවිලා යනවා. ඒකට මට කරන්න දෙයක් නෑ. ඔවුන් ළඟට ගිහින් මම චරිතයක් වුණේ නෑනේ. ඒක මේ රටේ ජනතාව දන්නවනේ.

ප‍්‍රශ්නය:- මන්ත‍්‍රී ටිරාන් මෙන්ම මන්ත‍්‍රී අර්ජුන ඔබව හිරෙන් නිදහස් කරගන්න යෝධ කාර්යභාරයක් කළා. ඒකත් මේ රටේ ජනතාව දන්නවා. එහෙම තිබිය දී ඔබ මෙහෙම කතා කිරීම?


පිළිතුර:- මාව හිරෙන් නිදහස් කරගන්න අර්ජුන රණතුංග කිසිම දෙයක් කළේ නෑ. ඔහු කිසිම සාකච්ඡාවකට සම්බන්ධ වුණෙත් නෑ. කිසිම කෙනෙකුට කතා කළෙත් නෑ. එහෙම කිසිම දෙයක් කළේ නෑ. මගේ පිටිපස්සේ තවත් ලක්‍ෂ දෙකහමාරක් හිටියනේ. එයින් එක්කෙනෙක් තමයි අර්ජුන රණතුංග, ටිරාන් අලස් සාකච්ඡා කළා. ඒ සාකච්ඡුාව යනකොට මම කරුණු හතරක් ඉදිරිපත් කරලා මම කිව්වා ඒ කරුණු හතර යටතේ සාකච්ඡුා කරන්න කියලා. එහෙම බැරිනම් සාකච්ඡුා කරලා වැඩක් නෑ කියලත් කිව්වා. මම මුලින්ම කිව්වා මට නිදහස දෙනවා නම් හිරේ දාන්න ඉස්සෙල්ල මට තිබුණ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම මට දෙන්න ඕනෑ කියලා. ඒ වගේම බොරු චෝදනා දාලා නීති විරෝධීව මට අහිමි කළ සියලූ දේම මට ලැබිය යුතුයි. තුන් වැනි කාරණය තමයි මම එළියට ආවම පුරවැසියකුට තියෙන සම්පූර්ණ අයිතිවාසිකම් මට තියෙන්න ඕනෑ. හතර වැනි එක තමයි එළියට ඇවිල්ලා මේ දුෂිත පාලනයට එරෙහිව දේශපාලනය කරන්න මට අවශ්‍යයි. මට ඒ සඳහා බලපෑම් කරන්න බෑ. ඔය කොන්දේසි එකක්වත් ඉටු වුණේ නෑ. ඔය මුකුත්ම නැතිවයි මම එළියට ආවේ. එහෙම බැලූවම ඒ සාකච්ඡුා සාර්ථක නෑ. ජනාධිපතිවරයත් ඒ සාකච්ඡාවලින් ප‍්‍රයෝජන ගත්තා. ඔහු එය අවස්ථාවක් කර ගත්තා මාව එළියට දාන්න. මාව එළියට දාන්න කියලා විදේශ බලපෑම් තිබුණා. මහා සංඝරත්නය, ආගමික නායකයෝ බලපෑම් කළා. ඒ බලපෑම් ඉතා තදින්ම රජයට තිබුණා. ඒ නිසයි මාව එළියට දැම්මේ. ඒ නිසා එක්කෙනෙකුට විතරක් ඒකේ ගෞරවය දෙන්න බෑ. ඊට අමතරව මම හිරේ ගියේ හොරකම් කරලා ගෙවල් බිඳලා නොවෙයි. රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් දේශපාලනය කරලා. ඒ නිසා බොරු චෝදනා දාලයි මා හිරේ දැම්මේ. ඊට ඉස්සෙල්ලා රට වෙනුවෙන් සටනක් කරලා ත‍්‍රස්තවාදයෙන් මම රට බේරාගත්තා. ඒ නිසා මම හිරේ ගියාට රටේ ජනතාව මට කෙලෙහිගුණ දැක්වූවා. මං වෙනුවෙන් ඔවුන් කම්පා වුණා. මං වෙනුවෙන් ඔවුන් කතා කළා. මං වෙනුවෙන් ඇඬුවා. බෝධි පූජා තිබ්බා. මං වෙනුවෙන් නොයෙක් දේවල් කළා. එතකොට මම එළියට ආවට පස්සේ ඒ කවුරුවත්ම ඇවිත් මගෙන් කෙළෙහිගුණයක් බලාපොරොත්තු වුණේ නෑ. ඒ අය මට කෙළෙහිගුණ දැක්වූවා විතරයි. ඔය එක්කෙනෙක් දෙන්නෙක් තමයි කියන්නේ මම ඒ අය වෙනුවෙන් කෙළෙහිගුණ දැක්වූවේ නෑ කියලා. ඒක පුදුම කතාවක්නේ?

ප‍්‍රශ්නය:- ඔබ වෙනුවෙන් කෙරුණ ඒ සාකච්ඡාවල දී ඔබට අසාධාරණයක් වුණා කියල ද ඔබ කියන්නේ?


පිළිතුර:- ඒ සාකච්ඡා සාර්ථක නෑ. මම එළියට ආවා. මම කරුණු හතරක් කිව්වනේ. ඒ එකක්වත් මට ලැබුණේ නෑනේ. ඒ සාකච්ඡා යන අතරවාරයෙදි මට දුන්න අවබෝධය තමයි මගේ කරුණු හතර යටතේ තමයි සාකච්ඡා කරන්නේ. ඒ කරුණු හතර මට ලැබෙනවා කියලා අවසාන දවසෙවත් අද වෙනතුරුත් මම මගේ නිදහස්වීමට අදාළව ලියුමක්වත් දැකලා නෑ. මම තවම දන්නේ නෑ මම කොහොමද එළියට ආවේ කියලා. බඩු බෑග් එකත් අරගෙන එළියට යන්න කියලා මට කිව්වා ඇරෙන්න වෙන දෙයක් මම දන්නේ නෑ. මම හිතන්නේ මම තවම වැලිකඩ හිරකාරයෙක්. වෙනසකට තියෙන්නේ මං බිත්තියෙන් එළියෙ ඉන්නවා. ඒ හැරෙන්න මම ලියුමක්වත් දැකලා නෑ. අඩු තරමින් වැලිකඩ හිර ගෙදරින් මම අපේ ගෙදර යනවා කියලා පොතකවත් අත්සන් කරලා නොවෙයි මම ආවේ. මම මිනිසුන්ට ලැබිය යුතු දෙයක් තියෙනවා නම් මම දෙනවා. ඔය සාකච්ඡුාව කරපු ටිරාන් අලස් මන්ත‍්‍රීතුමා එයාගේ උපරිමයෙන් සාකච්ඡුා කළා වෙන්නැති. නමුත් මම කියන්නේ බලාපොරොත්තු වුණු ප‍්‍රතිඵලය මට ලැබුණේ නෑ කියලයි.

ප‍්‍රශ්නය:- කොහොම නමුත් ඔබත් සමග සිටි බොහෝ පිරිස අද ඔබ ළඟ නෑ. ඇයි ඔවුන් ඔබෙන් ගිලිහුනේ. ඔබට ඔවුන් සමග දේශපාලනය කරන්න බැරි ද? ඔවුන්ට ඔබ සමග දේශපාලනය කරන්න බැරි ද?


පිළිතුර:- මම අනිකුත් අය සමග දේශපාලන සම්බන්ධතා ගොඩ නගාගෙන පොදු වේදිකාවකට යනකොට විරුද්ධ පක්‍ෂ සමගි කරන්න කටයුතු කරනකොට ඔය දෙන්නා ඒකට විරුද්ධ වුණා. ඔය දැන් ඔබ වාඩිවෙලා ඉන්න පුටුවෙම වාඩිවෙලා ඒ දෙන්නා මට කිව්වා පක්‍ෂය හදමු පොදු විපක්‍ෂයේ වැඩවලට සහභාගි වෙන්න කැමති නෑ කියලා. එතකොට මං ඇහුවා පසුගිය අවුරුදු තුනේදී පක්‍ෂය හදන්න මොනවද කළේ කියලා. එතකොට මට දුන්න උත්තරය තමයි ඔබතුමා හිරේ ඉන්දැද්දි අපට මුකුත් කරන්න බැරි වුණානේ කියලා. මම එතකොට ඇහුවා පසුගිය අවුරුදු තුනේදී මිනිස්සු දහ දෙනෙක්වත් පක්‍ෂයට එකතු කරගත්ත ද කියලා. එහෙම මුකුත් කරගන්න බැරිවුණා. ඒකට හේතුව තමයි ඔබතුමා හිරේ හිටපු නිසා කියලා කිව්වා. එතකොට මම ඇහුවා නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27ක් හිරේ ඉන්නකොට එයා හදාගෙන ආපු සංවිධානය හැදුණේ නැද්ද කියලා. එතකොට කිව්වා අප‍්‍රිකාවේ වෙච්ච දේවල් මෙහේ වෙන්නේ නෑ කියලා. එතකොට මම කිව්වා එහෙම නොවෙයි. පක්‍ෂයක් හදන්න ඕනෑ, ඒක මම අතහරින්නේ නෑ. නමුත් පොදු විපක්‍ෂයේ වැඩට සහභාගි වෙලා… මාව අනුමත කරන පිරිසක් සමග යන්න ඕනෑ කියලා. එතැනදි එක් කෙනෙක් කිව්වා පොදු විපක්‍ෂය හදන්න ඕනෑ මහින්ද රාජපක්‍ෂට හෝ ඒ පාලනයට පහර දෙන්න නොවෙයි රනිල් වික‍්‍රමසිංහට පහර දෙන්න කියලා. අර්ජුන රණතුංග කිව්වේ පොදු විපක්‍ෂයක් හදනව නම් ඒකේ රනිල් වික‍්‍රමසිංහත් ඉන්න ඕනෑ කියලයි. නමුත් රනිල් වික‍්‍රමසිංහ මහත්මයා කියන්නේ පොදු විපක්‍ෂයක් හදනවා නම් ඒකේ නායකයා තමන් විය යුතුයි කියලයි.

ප‍්‍රශ්නය:- ඒකට ඔබ කැමති නෑ?


පිළිතුර:- මම කියන්නේ පොදු විපක්‍ෂයක් හදන්න ඕනෑ නායකයෙක් පත් කර ගන්නේ නැතිව කියලයි. නායකයෙක් පත් කර ගන්නේ නැතිවයි ඒක පටන් ගන්න ඕනෑ. වැඩවලදී කවුද නායකයා කියලා ජනතාව තීරණය කරාවි. දැන් එහෙම බැලූවම ඒ දෙන්නා හිටියෙ මත දෙකක. ඒ වගේම දෙන්නම කිව්වේ කරන්න බැරි දේවල්. මම කිව්වේ පොදු විපක්‍ෂය හදමු ඒක කරලා ආණ්ඩුවට ගහලා ආණ්ඩුව පෙරළමු කියලා. ඒත් ඊට පස්සේ මේ දෙන්නා මගේ කිසිම රැස්වීමකටවත් ආවේ නෑ. අර්ජුන රණතුංග ගම්පහ තිබුණු රැස්වීමකට ආවා. මහරගම තිබුණා මිනිස්සු දෙසීයක් විතර හිටියා. ඒක අර්ජුන තමයි කරලා තිබුණේ. මිනිස්සු දෙසීයක් විතර තමයි හිටියේ. ඒකට මම ගියා කොළඹ තිබුණ එක රැස්වීමක ටිරාන් අලස් වාඩිවෙලා හිටියේ නෑ. ඒ හැරෙන්න රැස්වීම් සංවිධානය කරන්න රැස්වීම් සම්බන්ධීකරණය කරන්න මෙගෙල්ලෝ ආවේ නෑ. රැස්වීම්වලට මම කොච්චර වියදම් කළා ද? ඒවාටවත් කිසිම උදව්වක් කළේ නෑ. 18 වැනිදා හයිඞ්පිටියේ රැස්වීමට ආවෙත් නෑ. උපරිම පරිශ‍්‍රමයක් දාලා, උපරිම කැප කිරීමක් කරලා ලක්‍ෂ 25ක් විතර මට වියදම් වුණා. රට පුරාම පෝස්ටර් ගහපු රැස්වීමක්. ඒක මේ රජයට විරුද්ධව කරපු රැස්වීමක්. වෙන කාගෙවත් පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට කරපු එකක් නොවෙයි. මට රජ වෙන්නවත් නොවෙයි. අඩුගානේ ඒකටවත් ආවේ නෑ, ඊට පස්සේ ඒ අය ගත්ත පියවර තමයි එහාට මෙහාට ලියුම් ලියලා යවන එක. මටත් එක ලියුමක් ලැබුණා. අනිත් ලියුම් නම් ලැබුණේ නෑ. ඔවුන් දැන් වෙනම ගමනක් යනවලූ. නමුත් මං දන්නවා ඒ ගොල්ලෝ කවුරු එක්කද දැන් වැඩ කරන්නේ. අනාගතයේ දී ඒවා දැන ගන්න ලැබෙයි. මොකද හොරෙන් වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිපිටනේ. ඒවා ඉදිරියේ දී දැන ගන්න ලැබෙයි.

ප‍්‍රශ්නය:- ඔබව දේශපාලනයට ගෙනා ජවිපෙ දැන් ඔබ සමග නෑ. එජාපය ඔබ සමග නෑ. ටිරාන් අලස් අර්ජුන නෑ. ඔබට මෙහෙම වෙන්නේ ඇයි?


පිළිතුර:- මාව දේශපාලනයට ගෙනාව එක ගැන කතා කළොත් මාව දේශපාලනයට ගේන්න ටිරාන් හෝ අර්ජුන පොඞ්ඩක්වත් සම්බන්ධ වුණේ නෑ. මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණාම ඒ අය මගේ පස්සෙන් වැටිලා ආවා. ඊට කලින් ඒ දෙන්නා එක්ක මම වචනයක්වත් කතා කරලා නෑ. ඒ අය මගේ පස්සෙන් ආව අය. යූඑන්පිය ගැන මට ප‍්‍රශ්නයක් නෑ. යූඑන්පී නායකයා එක්ක වුණත් මට ප‍්‍රශ්නයක් නෑ. මට පණිවිඩ එනවා සාකච්ඡාවලට එන්න කියලා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට එන්න කියලත් කතා කරනවා. නමුත් ඒ පක්‍ෂය ඇතුළේ ප‍්‍රශ්නයක් තියෙන නිසා මම ඒ පක්‍ෂයට යන්නේ නෑ කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඒකයි එතැන තියෙන ප‍්‍රශ්නය. නැත්නම් මට යනවා නම් හෙටත් යන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- රුපියල් 20ක් දීල ටිකට් එකක් අරගෙන එන්න කියලත් කියලා තියෙවනනේ.


පිළිතුර:- එක පුද්ගලයෙක් ඔය බහුබූත කතා කිව්වා. ඒ විතරක් නොවෙයිනේ වැරැදි තීරණයක් ගත්තේ කියලත් කිව්වනේ. ඒවා මේ තනි පුද්ගලයෙක්ගේ මනස්ගාත කතා. නමුත් ඒ පක්‍ෂය මට එහෙම ප‍්‍රතිචාරයක් දක්වලා නෑ. ඒ පක්‍ෂය මාව දාලා ගිය ගමනක් ගැන හිතන්නෙත් නෑ, ඒ පක්‍ෂය මන්ත‍්‍රීවරු සියයට අනූ නවයයි දශම නවයක් මාත් එක්ක ඉන්නේ. අදත් මාත් එක්ක කතා කරනවා. මම එනවානම් උඩින්ම පිළිගන්න ලෑස්තියි. ජනතා විමුක්ති පෙරමුණ අවංක දේශපාලනයක් කරනවා. මාත් පිළිගන්නවා ඒ අය අවංක රටට ආදරේ කට්ටියක්. නමුත් ඒ ගොල්ලෝ දේශපාලනය කරන්නේ ඒ ගොල්ලන්ගේම දේශපාලන න්‍යාය පත‍්‍රයකටනේ. අපිත් ඒ ගොල්ලෝ එක්ක ගමනක් ගියා. ඊට පස්සේ ඒ අය ඒ අයගේ න්‍යාය පත‍්‍රයට යටත්ව ගමන් කරන්න පටන් ගත්තා. අනාගතයේදී එක තැනකදි අපි යළිත් හමුවෙන්න බැරි නෑ.

ප‍්‍රශ්නය:- ඔබ හමුදා නායකයෙක්. ඔබ වැඩ කරන්නේ ඒ හමුදා ක‍්‍රමයටයි. ඔබට ලංකාවේ දේශපාලනය තේරෙන්නේ නෑ. මේ ප‍්‍රශ්න ඒ නිසා නේද?


පිළිතුර:- ලෝකය පුරා හිටපු බොහෝ හමුදා නායකයෝ දේශපාලන නායකයො වෙලා ඒ රටවල් දියුණු කරලා විශිෂ්ටතම නායකයෝ බවට පත්වෙලා තියෙනවා. ලෝකය පුරාම එහෙම ජෙනරල්ලා ඉඳලා තියෙනවා. මේ ආණ්ඩුවේ ඉන්න බංකොලොත් දේශපාලනඥයෝ මට තියෙන බයට කියන කතාවක් තමයි ජෙනරල්ලාට දේශපාලනය කරන්න බෑ කියලා. ඔය සමහරු කිව්වේ ජෙනරල්ලාට යුද්ධ කරන්නත් බෑ කියලා. ඒ වුණාට අපි යුද්ධ කරලා පෙන්නුවානේ. දේශපාලනය ඒ නිසා කරන්න බැරි වෙන්නේ නෑ. හැබැයි ඒ ගොල්ලෝ කරන ඔය තුට්ටු දෙකේ දේශපාලනය නම් මට කරන්න බෑ. මට ඕනෑ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්නයි. මම දේශපාලනයට ආවේ ඒකටයි. අවුරුදු හැටක් තිස්සේ රට පාලනය කරමින් රට බංකොලොත් කළ රට අගාධයට ඇද දාපු නීච දේශපාලනය නම් මට කරන්න බෑ.

ප‍්‍රශ්නය:- ඔබ කියනවා රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වය පිළිගන්නේ නෑ කියලා. රනිල් වික‍්‍රමසිංහත් ඔබේ නායකත්වය පිළිගනීවි කියලා හිතන්න බෑ. විපක්‍ෂයත් සීසීකඩ විසිරිලා ගිහින්. මෙහෙම ගිහින් ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නගන්න පුළුවන් වෙයිද?


පිළිතුර:- රනිල්ගේ නායකත්වය මම පිළිගන්නේ නෑ නොවෙයි. ඔහුගේ නායකත්වය පිළිබඳ ප‍්‍රශ්නය තියෙන්නේ ඔහුගේ පක්‍ෂයේ අයටයි. මගේ නායකත්වය රනිල් එක් අවස්ථාවක පිළිගත්තා. එයා ඊට පස්සේ කොහේදිවත් කියලා නෑ මගේ නායකත්වය පිළිගන්නේ නෑ කියලා. අපි දෙන්නා දැනට වෙනස් දේශපාලන බලවේග දෙකක ඉන්නේ. යම්කිසි දවසක සියලූ දෙනාටම එකමුතු වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩ නැගිලා ආවම අපිට එකතු වෙන්න පුළුවන් වෙයි. ඒක ලේසි වැඩක් නොවෙයි. ඒ ඒ පුද්ගලයන්ට න්‍යාය පත‍්‍ර තියෙනවා. පක්‍ෂවලට වෙන වෙනම අදහස් තියෙනවා. අපි අතීතයේ දී එකට එකතු වුණා. අනාගතයත් සුබවාදී වෙයි කියලා අපට හිතන්න පුළුවන්.

ප‍්‍රශ්නය:- හිරගෙදරින් එළියට ආවට පස්සේ ආණ්ඩුවෙන් ඔබට යම් යම් සංඥා නොලැබෙන්න හේතුවක් නෑ.


පිළිතුර:- ඒගොල්ලෝ බලාපොරොත්තු වුණා මාව මේ විදියට හිරෙන් එළියට දාලා මගේ බිරිඳවත් හමුවෙන්න උත්සහ කළා. ඊට පස්සේ හිතුවා අනිත් දේශපාලඥයන් වගේ මාවත් නම්මාගන්න පුළුවන් වෙයි මොනවාහරි බොරු බටර් ටිකක් ගෑවොත් කියලා. සමහරු මට කතා කරලත් කියනවා ගිහින් කතා කරලා මේක සමාදාන කරන්නද? ගිහිල්ලා එකට වැඩ කරන්න බැරි ඇයි කියලා අහනවා. මගේ සෞඛ්‍ය තත්ත්වය චෙක් කරගන්න මාව සිංගප්පූරු යවන්නද කියලත් ඇහුවා. ඒ වගේ පණිවිඩත් ආවා. ඒ බටර්වලට මම රැුවටෙන්නේ නෑ. මම දන්නවා මේ අය ළඟ මම කාලයක් හිටියනේ. ඒ නිසා මේ අය කවුද කියලා මම දන්නවා. ඒ නිසා ආපහු මේ අය ළඟට ගිහිල්ලා මේ අයගේ දුෂිත ක‍්‍රියාවලට සම්බන්ධ වෙන්න මට අවශ්‍ය නෑ. මම ඉතාම ළඟින් මේ අයව ආශ‍්‍රය කරලා තියෙනවා. ජනාධිපතිතුමා ළඟ මැස්සො වගේ වටේ කැරකෙන කට්ටියක් ඉන්නවා. ඒ අය ඕනෑම ජරා වැඩක් කරලා තමන්ගේ වාසි ප‍්‍රයෝජන ගන්නවා. අපි එහෙම හිටියේ නෑ. ඒ නිසා ඒ අයගේ හැකියාවන් නොහැකියාවන් මම දන්නවා. මේ අයට දැක්මක් තියෙනවද නැද්ද කියලා මම දන්නවා. ඒ නිසා එයා ගැන එයාගේ ගෝල බාලයෝ ගැන ඔහු වටේ ඉන්න පිස්සෝ ගැන මම දන්නවා. ඉස්සර මම යනකොට පාරේ ඉන්නේ නැතිව කානුවට බැහැපු අය දැන් මැස්සෝ වගේ ළඟට වෙලා ඉන්නවා. මට ඒ තත්ත්වයට යන්න අවශ්‍ය නෑ. මම දේශපාලනයට ආවේ රටටයි මිනිස්සුන්ටයි ආදරේ නිසයි. ඒ ස්ථාවරයේ තමයි දිගටම ඉන්නේ.

ප‍්‍රශ්නය:- ඔබට ඇත්තටම ප‍්‍රශ්න තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග ද ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා සමග ද?


පිළිතුර:- ඒ දෙන්නම සමග පෞද්ගලික ගැටලූවක් නෑ. මට ප‍්‍රශ්න තියෙන්නේ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාමාර්ග සම්බන්ධවයි. ඒ දෙන්නා විතරක් නොවෙයි. එතැන පවුල් පාලනයක්නේ තියෙන්නේ. ඒ සියලූ දෙනාම මම ප‍්‍රතික්ෂේප කරනවා. ඒ ඔක්කොමත් සමග දේශපාලනිකව මට ප‍්‍රශ්නයක් තියෙනවා. ඊට අමතරව ඒ අයගේ ගෝලබාලයෝ රට හූරගෙන කනවා. මට ඒ ඔක්කොමත් එක්ක ප‍්‍රශ්න තියෙනවා. ඒ අයගෙන් රට බේරාගන්න අවශ්‍යයි. මට බේරෙන්න දෙයක් නෑ. බේරෙනවා නම් බේරෙන්න පුළුවන් ක‍්‍රමය මම දන්නවා. ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ගේ පාඩුවේ ඉන්න දුන්නොත් මටත් ඕනෑ දෙයක් දෙයි. නමුත් මට ඒ ගොල්ලන්ට ඒ ගොල්ලන්ගේ පාඩුවේ ඉන්න දෙන්න බෑ. මේ පාලනය දුෂිතයි. ඒ නිසා මට එහෙම ඉන්න බෑ.

ප‍්‍රශ්නය:- ඔබ අලූත් පක්ෂයක් හදනවා කිව්වා. කෝ ඒ අලූත් පක්‍ෂය?


පිළිතුර:- සුබවාදීව හිතන්න අනාගතයේ දී එය දකින්න ලැබේවි. කලබල වෙන්න එපා. ත‍්‍රස්තවාදයෙන් රට බේරගන්න අපට ටිකක් කල් ගියානේ. ඒ නිසා ඉවසන්න.

සාකච්ඡා කළේ – ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / Lankadeepa

Gossip Lanka Hot News Previous News Archive