වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියේදී සිය ගුද මාර්ගයට ඇතුළු කොට සඟවා ගත් ජංගම දුරකථන දෙකක් උදරය තුළට යැම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේදී රෝගාතුරවූ සැකකරුවකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (01 දා) ශල්‍යකර්මයක් සිදුකර අදාළ දුරකථන දෙක ඔහුගේ උදරයෙන් පිටතට ගෙන ඇත.
පසුගියදා වව්නියාව බන්ධනාගාරය තුළදී රැඳවියන් පිරිසක් විසින් කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධියෙන් පසු එහි සිට අනුරාධපුර බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියකුගේ උදරය තුළ තිබී එම ජංගම දුරකථන දෙක මෙසේ පිටතට ගෙන තිබේ.
උතුරු පළාතේ සිදුකළ කොල්ල කෑම් රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කිලිනොච්චිය, ධර්මපුරම්, යුනිට් දෙක, ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි ද්‍රවිඩ ජාතික රැඳවියකු මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මීට දින ගණනකට පෙර අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් විසින් ඔහුට එරෙහිව විභාග වන නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ගොස් තිබේ.
එහිදී බන්ධනාගාර නිලධාරීන්ට හොර රහසේ එම රැඳවියා බැලීමට පැමිණි කිසියම් අයෙකු විසින් ඔහුට එම ජංගම දුරකථන දෙක ලබාදී තිබෙන අතර ඉන්පසු බන්ධනාගාරය තුලට රැගෙන යැම සඳහා ඔහු ඒවා සිය ගුද මාර්ගයට ඇතුළු කර සඟවා ගෙන තිබේ.
ඉන්පසු නඩු විභාගයෙන් අනතුරුව තවත් රැඳවියන් පිරිසක් සමග බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහු වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණයේ සිට බස් රථයකින් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇත.
එසේ බස් රථයෙන් ගමන් ගන්නා අතරතුර බස් රථයෙහි ඇතිවූ ගැස්සීම නිසා ජංගම දුරකථන දෙක ඔහුගේ උදරය තුළට ඉඹේම ඇතුළු වී තිබේ. වෛද්‍ය පරීක්ෂණවලදී මේ බව තහවුරු වී ඇත.