ශී‍්‍ර ලංකා- නවසීලන්ත එක්දින තරගාවලිය අදින් ඇරබේ

 මාස තුනකට පසුව එක්දින තරගාවලියකට සූදානම් වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට සහ එහි නායකයාට නවතම අභියෝගයකට මුුහුණ දීමට සිදුවී තිබේ.
එනම් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේදී ලද පරාජයත් සමගම කි‍්‍රකට් කී‍්‍රඩාව ‘තිත්ත’ වී තිබෙන ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් ලෝලීන් නැවතත් කි‍්‍රකට් පිටිය වෙත ගෙන්වා ගැනීමයි.
 ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පෙරේදා (30 වැනිදා) පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති විස්සයි 20 තරගය නරඹීමට පැමිණ සිටියේ 500 කටත් අඩු පිරිසක් වූ අතර එයින්ද බහුතරය විවිධ කාර්යයන් සහ රාජකාරි සඳහා කී‍්‍රඩාංගණයට පිවිසියෝ වූහ.

 පේ‍්‍රක්‍ෂකාගාර හිස්ව පැවැති අතර දුර දක්නයක් තිබුණේ නම් පිටියේ එක තැනක සිට සියලූම නරඹන්නන් සංඛ්‍යාව ගණන් කළ හැකි තරමට සීමා වී තිබිණ. වර්ෂාව සහිත කාලගුණය ‘කි‍්‍රකට් එපා වූ නරඹන්නන්ට’ තව තවත් හේතු කාරණා සපයා දුන්නේය.

කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා නායකයා පවසන්නේ අතීතය අමතක කරදමා ඉදිරියට යා යුතු බවයි. ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (1 වැනිදා) මහනුවර, පල්ලෙකැළේ කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන්නේ මෙවන් වාතාවරණයක් පවතිද්දීය. දැනට පවතින කාලගුණික තත්ත්වය හමුවේ එයද ඕවර කීයක තරගයක් වේද යන්න සැක සහිතය.

එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවේදී ලෝක අනුශූරයන් වන නමුත් මේ වන විටත් ශ්‍රේණිගත ලයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා පහළ වැටී සිටින ශී‍්‍ර ලංකා පිල එක්දින තරග ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට ඔසවා තැබීමේ අභියෝගයද මහේල ඇතුළු පිරිවර කරපිටම පැටවී තිබේ.
”අමාරුයි තමා....ඒත් අපි ඉදිරියට යන්න ඕනෑ” ”අපේ හාදයෝ ටික ඊයේ (අගහරුවාදා පැවැති විස්සයි 20 තරගයේදී) ඉතාමත් හොඳින් කී‍්‍රඩා කළා.
විශේෂයෙන්ම විස්සයි 20 ලෝක කුසලාන අවසන් තරගයෙන් පස්සේ ඉතාමත් හොඳ තරග සැලැස්මක් සහිතව, ඔවුන් හොඳින් තරගයට අවතීර්ණ වුණා” යයි මහේල ජයවර්ධන ඊයේ පැවසීය. මෙම තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් විය. ශී‍්‍ර ලංකා පිල සහ නවසීලන්ත පිල අතර ද්විපාර්ශ්වික එක්දින තරගාවලියක් පැවැත්වෙන්නේ වසර හයකට පසුවය.
අවසන් වරට පැවැති ද්විපාර්ශ්වික තරගාවලි දෙකම නවසීලන්තයේදී පැවැත්වී ඇති අතර ඒවායින් එකක් ජයගැනීමට නවසීලන්ත පිල සමත්ව තිබේ. 2006 වසරේ තරගාවලිය තරග 2-2 ක් ලෙසින් සමවිය. අද ඇරඹෙන තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල ඉතාමත් සමබර තත්ත්වයක සිටී.
විශේෂයෙන්ම ශී‍්‍ර ලංකා කණ්ඩායම විවිධ ආකාරයේ පන්දු යවන්නන්ගෙන් ගහණව සිටින අතර තරගයකදී නායකයාට සිය පන්දු යවන්නන් තෝරා ගැනීමද අසීරු කාරණයක්වී තිබේ. ”එවන් තත්ත්වයක් තිබෙන එක ඉතාම හොඳයි..” ”පන්දු යැවීමේදී අපට බොහෝ විකල්ප තිබෙනවා. ඒත් එවන් විකල්ප තිබුණයි කියලා ඒවා සියල්ලම යොදා ගන්න ඕනම නෑ. අවශ්‍ය වෙලාවට විතරක් යොදා ගත්තාම ඇති” ”සමහර විට කෙනෙක් කියන්න පුළුවන් අරයා පන්දු යවන්න යොදාගත්තා නම් හොඳයි.. නැත්නම් මෙයා පන්දු යවන්න යොදා ගත්තානම් හොඳයි කියලා.. ඒත් කුමක් හෝ තීරණයක් ගන්න සිදුවෙනවා.
 ඇතැම් තීරණ සාර්ථක වෙනවා. ඇතැම් තීරණ සාර්ථක වන්නේ නෑ” යයිද මහේල ජයවර්ධන ඊයේ පැවසීය. ශී‍්‍ර ලංකා සංචිතයේ සිටින වේග පන්දු යවන්නන් පස් දෙනාගෙන් දෙදෙනකුම තුන් ඉරියව් කී‍්‍රඩකයන් ලෙස සැලකෙන අතර ද`ග පන්දු යවන්නන් පස් දෙනාගෙන් දෙදෙනෙක්ද පිතිකරුවන් ලෙස නම් දරන්නෝ වෙති. කණ්ඩායම තුන් ඉරියව් කී‍්‍රඩකයන්ගෙන් ගහණ හෙයින් පන්දු යැවීමේ විකල්ප වඩාත් බහුල වී තිබේ. ශී‍්‍ර ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිවල අවසන් මහ තරගයට කැඳවාගෙන ඒමට සමත් වූයේ මෙම තත්ත්වයම බවද මහේල පැවසීය.
 ශී‍්‍ර ලංකා එක්දින පිලට එක්ව සිටින නවකයන් වන අකිල ධංනජය සහ තරිඳු කෞෂාල් දෙදෙනාම දග පන්දු යවන්නන් වන හෙයින් අද තරගයේදී ඔවුන්ට අවස්ථාවක් ලැබීම තරමක් සැක සහිතය. වැසි සහිත කාලගුණික තත්ත්වය වේග පන්දු යවන්නන්ට වාසිදායක වීමද මෙම තවත් එක් සාධකයකි. මෙම තත්්ත්වය මත වඩාත් පළපුරුදුකම් ඇති රංගන හේරත් නැවතත් එක්දින කණ්ඩායමට එක්වීමේ ඉඩකඩක් තිබේ.
විස්සයි 20 තරගයට පෙර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණය එක දිගට පැය 48 කට ආසන්න කාලයක් වසා තිබුණ අතර පෙරේදා තරගයෙන් පසුව ඊයේ දිනය පුරාත් කී‍්‍රඩාංගණය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබිණ.
එලෙස ආවරණය කර තිබෙන තණතීරුවකදී කාසියේ වාසිය දිනා ගන්නා නායකයකු පළමුවෙන් පන්දු යැවීම තෝරා ගැනීමත් තමන්ගේ වේග පන්දු යවන්නන් ඉදිරියට දැමීමත් පුදුමයක් නොවේ.

 ශී‍්‍ර ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, රංගන හේරත්, ජීවන් මෙන්ඩිස්, ශමින්ද එරංග, අකිල ධනංජය සහ තරිඳු කෞෂාල් නවසීලන්ත සංචිතය රොස් ටේලර් (නායක), ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින්, බ්‍රෙන්ඩන් මැකලම්, කයිල් මිල්ස්, රොබ් නිකොල්, ටිම් සවුතී, කේන් විලියම්සන්, නේදන් මැකලම්, ඇඩම් මිල්නේ, ජේකබ් ඕරම්, ඇන්ඩෲ එලිස්, රොනී හිරා, ටෙ‍්‍රන්ට් බෞවුල්ට්, ටොම් ලේතම් සහ බ‍්‍රැඩ්ලි වොට්ලිං

Gossip Lanka Hot News Previous News Archive