දිවයින වටේම ඇති ඛනිජ තෙල් වෙන්දේසි කිරීමටයි

ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන මෙරට මුහුදේ ඛනිජ තෙල් ඇතැයි හඳුනාගත් බිම් කඩවල් වෙන්දේසි කිරීමේදී එවැනි බිම් කඩවල් දහයකට පමණ ලංසු කැඳවීමට යනබව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මේ බව සඳහන් කළ අතර මෙහිදී දිවයින වටේම ඛනිජ තෙල් ඇතැයි හඳුනාගෙන තිබෙන බිම් කඩවල් මෙම ලංසු කැඳවීමට ඇතුළත් කර තිබේ.
වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම ලංසු ලබාගැනීමේ කාලය ලබන මාසයේ සිට 2012 අප්‍රේල්-මැයි දක්වා විවෘතව තැබීමේ සූදානමක් තිබෙන බවයි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය විසින් දැනට ලංකාවේ ඛනිජ තෙල් ඇතැයි සොයාගෙන තිබෙන ස්ථාවල දත්ත නැවතත් සකස් කිරීම සඳහා සමාගමක් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවා තිබූ අතර ඒ සඳහා සමාගමක් ළඟදීම තෝරා ගන්නා බවද වික්‍රමසූරිය මහතා කීය.
මේ යටතේ, මීට පෙර කිහිප අවස්ථාවකදීම රැස්කර තිබෙන භූ විද්‍යාත්මක ද්විමාන දත්ත විධිමත් ලෙස නැවත සකස් කිරීම හා ඒවා ඡායාගත කිරීම අපේක්ෂා කෙරේ.
මේ සඳහා තෝරා ගන්නා සමාගම විසින් භූ විද්‍යාත්මක හා භූ විද්‍යාත්මක නොවන දත්ත ඒකාබද්ධ කිරීමටත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ සේවකයින් පුහුණු කිරීමටත් අනිවාර්යෙන්ම හැකියාවෙන් සිටිය යුතුබව සඳහන්ය.
මේ අතර, හම්බන්තොට මුහුදට ඔබ්බෙන්ද ඛනිජ තෙල් ඇතැයි සාක්ෂි සොයාගෙන තිබෙන නමුත් එම බිම්කඩ සඳහා ලංසු කැඳවීම තවදුරටත් සාක්ෂි සොයා ගැනීමෙන් පසුව කිරීමට තීරණය කර ඇත.
මන්නාරමට ඔබ්බෙන් වූ මුහුදේ කෙයාන් ඉන්දියා සමාගමට ඛනිජ තෙල් ගවේෂණය කිරීමට ලබාදුන් බිම් කඩේ කණිනු ලැබූ ලිං දෙකක ස්වභාවික ගෑස් තිබෙන බවට මේ වනවිට සාක්ෂි සොයාගෙන තිබෙන අතර මෙහි තවදුරටත් කැණීම් කටයුතු ලබන පෙබරවාරියේ සිදු කිරීමට සැලසුම් කර තිබේ.
වික්‍රමසූරිය මහතා පැවසුවේ විශාල තෙල් සමාගම් පහක් පමණ දැනටමත් මෙරට ඛනිජ තෙල් ගවේෂණයට උනන්දුව පළකර තිබෙන බවයි.
මෙම සමාගම් අතර, රුසියාවේ Gazprom සමාගම, PetroVietnam සමාගම සිටින බව සඳහන්ය.


Gossip Lanka Hot News Previous News Archive