අගවිනිසුරුවරිය සෙලින්කෝ නඩු කිහිපයක් ඇසීමෙන් ඉවත්වෙයි

සෙලින්කෝ ව්‍යාපාරයට අයත් ආයතන කිහිපයක් සම්බන්ධ නඩු විභාගය මෙහෙය වූ විනිසුරු මඩුල්ලෙන් ඉවත්වීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තීරණය කර තිබේ.

දැනට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් අදාළ නඩු විභාග කිරීමට තමාගේ කැමැත්තක් නොමැති බව ඒ සම්බන්ධ නඩු විභාගය අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.


ඒ අනුව අගවිනිසුරුවරිය වෙනුවෙන් එම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙනයාම සඳහා විනිසුරු සත්‍යා හෙට්ටිගේ මහතා නම් කර ඇත.

නිමල් ගාමිණි අමරතුංග සහ කේ. ශ්‍රී පවන් යන මහත්වරුන් එම නඩු විභාගවලට අදාළ විනිසුරුමඩුල්ලේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරයි.

ඒ අනුව මින් ඉදිරියට ඒ සම්බන්ධ නඩු විභාග සඳහා තම නම ඇතුළත් නොකරන ලෙස අගවිනිසුරුවරිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා වෙත නියම කළාය.

අදාළ නඩු තමන් වෙත යොමු කළේ ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය බව ද අගවිනිසුරුවරිය ප්‍රකාශ කර සිටියාය.

ඒ අනුව මුදල් තැන්පත්කරුවන් පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති අදාළ නඩු විභාගය දෙසැම්බර් මස 4 වන දින අගවිනිසුරුවරිය නොමැති නව විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනීමට නියමිතය.

Gossip Lanka Hot News Previous News Archive