සිගිරි කාශ්‍යප රජුගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සොයා නිදන් හැරු පිරිස අත්අඩංගුවට

සීගිරි කාශ්‍යප රජුගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න සොයා මාලිගාකන්දේ නිධන් හාරා ඇත්තේ ගලිගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරයකු ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බව සීගිරිය පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
 මෙම කණ්ඩායමෙන් එක් අයෙක් අද (02) අළුයම මින්නේරිය වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දහවල් කාලයේ දී තවත් පස් දෙනෙක් පිදුරංගල දී අත්අඩංගුවට ගෙන ඇත.

 මන්ත්‍රිවරයා ඇතුළු මෙම කණ්ඩායම හබරණ ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන මෙම නිධන් හෑරීම සැලසුම් කර ඇති අතර එම පිරිසෙන් හය දෙනෙක් මාලිගාකන්ද වනයට ගොස් නිධන් හෑරීමේ යෙදී සිටි බව ‍ අනාවරණය වී ඇත.
 ගලිගමුවේ විපක්ෂයේ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීම හා ඉදිරි පරීක්ෂණ කටයුතු සීගිරිය පොලිසිය මගින් සිදු කෙරේ.
 සීගිරිය, ආලකමන්දාවට දකුණු දෙසින් පිහිටි මාලිගාකන්දේ දැවැන්ත ගලක් පුපුරවමින් කාශ්‍යප රජුන්ගේ මැණික් එබ්බ වූ රන් ඔටුන්න ලබා ගැනීමට නිධන් හැරුවන් උත්සහ කර ඇත. මෙම ස්ථානය පිහිටා ඇත්තේ ආලකමන්දාවට දකුණු දෙසින් කිලෝ මීටර් 04ක් පමණ දුරින් ඝන වනාන්තරයක් මැද්දේය.
 මීට දින කිහිපයකට පෙර සීගිරිය සහ මින්නේරිය වනජීවි නිලධාරීන්ට මාලිගාකන්දේ යම් ස්ථානයක පිරිසක් නිධන් හාරමින් සිටින බවට තොරතුරු ලැබී තිබේ. ඒ පිළිබදව සොයා බැලීමට අදාළ නිලධාරින් කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය.

Gossip Lanka Hot News Previous News Archive