සිංහරාජය සොරකම් කරන්න රුසියාවෙන් බැහැලා

ශ්‍රී ලංකාවට ආවේනික ඕකීඩ් පැළ වර්ග සිංහරාජ වනාන්තරයෙන් හොරෙන් එකතු කරමින් සිටි රුසියානු ජාතික යුවළක් ඊයේ (15) දහවල් කලවාන අඩවි වන කාර්‍යාලයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුව ඔවුන් නැවතී සිටි සිංහරාජය අසල පෞද්ගලික සංචාරක නිකේතනය පරීක්ෂා කිරීමේ දී සිංහරාජ වනාන්ත්රය ද ඇතුළුව ලංකාවේ විවිධ ස්ථානවලින් එක්රැස් කළ ඕකීඩ් පැළ වර්ග සියයකට අධික ප්‍රමාණයක් හමු වී ඇත.
මෙම යුවළ ලංකාවේ විවිධ වනාන්තර ප්‍රදේශවල ඇවිදිමින් මේවා හොර රහසේ එක්රැස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කළ විමර්ෂණවලදී හෙළි වී ඇත. පසුව මෙම රුසියානු ජාතික යුවළ ඊයේ (15) රාත්‍රියෙම කලවාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරුණ අතර ඔවුන් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කලවාන අඩවි වන නිලධාරියෙක් ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු දිගටම කරගෙන යන බවයි. මෙය ශ්‍රි ලංකාවේ ජාන සහ ජෛව සම්පත් කොල්ලයේ අළුත්ම අනාවරණය බව වනජීවි නිලධාරීහු කියති. මෙබඳු දුර්ලභ පැලෑටි වර්ග හොරෙන් ගෙනගොස් වැඩි දියුණු කර ඒ පුද්ගලයන්ගේ නමට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීමේ ජාවාරමක් ජාත්‍යන්තරයේ කලක සිට ක්‍රියාත්මක වන බව එම නිලධාරින් පෙන්වා දෙති.

Gossip Lanka Hot News Previous News Archive