වැලිගෙපොළ ප්‍රාථමිකයටත් මැක්කෝ පනී

 ළමුන් 90ක් රෝහල්ගත කරයි
වැලිගෙපොළ , වළගම්බා මහා විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් 90ක් පමණ අද (16) උදේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිගෙපොළ රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මෙම ළමුන් අද උදේ ක්‍රිඩා පිටියේ සෙල්ලම් කරමින් සිටියදී කීප දෙනෙක් පැමිණ ගුරුවරුන්ට පවසා ඇත්තේ තමන්‍ගේ ඇඟ කසන බවත්, ක්ලාන්ත ගතියක් පවතින බවත්ය.
ඒ මොහොතෙම ගුරුවරුන් එම සිසුන් කිහිප දෙනා අසල්වාසීන්ගේ වාහනවලින් නුදුරින් පිහිටි වැලිගෙපොළ රෝහල ගෙන ගොස් ඇත. මොහොතකට පසු ළමුන් විශාල පිරිසක් මේ ආකාරයට රෝගී වී තිබෙන අතර ඔවුන් සියලු දෙනා ‍ රෝහල්ගත කර ඇත. වැලිගෙපොළ රෝහල අවට රෝහල්වලට දුරකතන ඔස්සේ කතා කොට ගිලන් රථ ගෙන්වා ගෙන ඇති අතර අවශ්‍යතාවක් ඇති වුවහොත් මෙම ළමුන් රත්නපුර ශික්ෂණ රෝහලට ගෙන යාමට සූදානම් බව රෝහලේ වෛද්‍යවරුන් පැවසූහ. දැඩි ගිලන් තත්ත්වයක් නැති බවත් , දහවල් වනවිට දරුවන්ගේ රෝගි තත්ත්වය සුව අතට හැරනු ඇතයි විශ්වාස කරන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. ක්‍රිඩා පිටියේ මැක්කන් මෙම ළමුන් සපා කන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Gossip Lanka Hot News Previous News Archive