ගාසා තීරයට දිගට-හරහට ගුවන් ප්‍රහාර

ගාසා තීරයට අද උදේත් ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර එල්ල විය. ඉන් තවත් පලස්තීනුවන් තිදෙනෙක් ඝාතනය වූහ. ඒ අනුව හය දිනකදී මෙතෙක් ජීවිතක්ෂයට පත් පලස්තීනුවන් ගේ සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය නිලධාරින් ප්‍රකාශ කර තිබේ. සෙයිටුන් නගරයේ දී මේ ප්‍රහාර සිදු වූයේ පෙරේදා රාත්‍රියේ ඊශ්‍රායල් යුද ගුවන් යානා විසින් ගාසා තීරයේ පොලිස් ස්ථානයක් බිමට සමතලා කිරීමෙන් පසුය.

ඊශ්‍රායල නාවික හමුදා යාත්‍රාවල සිට ගාසා වෙරළ දෙසට නිරන්තරයෙන්ම ප්‍රහාර එල්ල විණි.


ඊශ්‍රායල් ප්‍රහාරවල දරුණුම දිනයක් සනිටුහන් කළ පෙරේදා පලස්තීනුවෝ 31 දෙනක් ඝාතනය වූහ. මේ ගැටුම්වලින් තුවාල ලැබූවන් සංඛ්‍යාව 700 ක් ඉක්මවා ඇතැයි පැවැසේ.

පෙරේදා ප්‍රහාරයට ගොදුරුවූවන්ගෙන් දස දෙනක් ළමයි වෙති. ඉන් පස්දෙනකු බිළින්ඳන් හා නොදරුවන් බවත් ඊට අමතරව කාන්තාවන් 6 දෙනකු ඝාතනය වී ඇති බවත් පැවැසේ.

මේ තත්ත්වය මැද ලේ හැලීම් නවතා ලීමට රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ද සිදුවේ.

පවත්නා ප්‍රචණ්ඩත්වයෙන් ඊශ්‍රායලයේ ද තිදෙනකු ඝාතනය කර ඇති අතර තවත් 50ක පමණ පිරිසක් තුවාල ලබා තිබේ.

මේ දක්වා සිදුව ඇති ප්‍රහාරවලින් දරුණුම ප්‍රහාරය සිදුව ඇත්තේ උතුරු ගාසා තීරයේය. එහිදී මිසයිල ප්‍රහාරයකින් තෙමහල් ගොඩනැඟිල්ලක් බිමට සමතලා වූ අතර අල් ඩෝල්ලා පවුලේ නව දෙනෙක් ඉන් ජිවිතක්ෂයට පත් වූහ. ඉන් පස් දෙනකුම ළමයින් බව සඳහන්ය. මේ නව දෙනාට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනකු ද ඝාතනය වී ඇත. මේ ප්‍රහාර සම්බන්ධයෙන් කිසිත් නොකියන ඊශ්‍රායල හමුදාව සිය ගුවන් හමුදාව ත්‍රස්ත ඉලක්ක කීපයකට පහර දුන් බව පමණක් පවසා තිබේ.

(AFP පුවතකින්)


Gossip Lanka Hot News Previous News Archive