අගවිනිසුරුගේ දෑත් ශක්තිමත් කරන්න චන්ද්‍රිකා

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අධිකරණයේ ස්‌වාධීනත්වය ගරු කරන සියලු දෙනා විසින්ම හෙළා දැකිය යුතු යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කරයි.

නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.


ගතවූ මාස කිහිපය තිස්‌සේ අධිකරණයේ නියමිත කාර්ය පටිපාටිය තුළට මැදිහත්වීමට ගන්නා උත්සාහයන් කීපයක්‌ම දැකගත හැකිවිය. මන්නාරමේ සිද්ධිය, අධිකරණ සේවා කොමිසම නිකුත් කළ පෙර නොවූ විරූ නිවේදනය, කොමිසමේ මගපෙන්වීම අනුව එම නිවේදනය නිකුත් කළ අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට කායික වශයෙන් හිරිහැර පැමිණවීම, රාජ්‍ය මාධ්‍යය ලවා අධිකරණයට විශේෂයෙන් අග්‍රවිනිශ්චයකාරවරියට අපහාස කරවීම ඒ අතර විය. දැන් අලුත්ම මැදිහත්වීම අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ඉදිරිපත් කර තිබෙන දෝෂාභියෝගයයි. කථානායකවරයා වෙත එම දෝෂාභියෝගය බාරදුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ දිවි නැගුම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට හේතු වූ බවයි. ඇත්තෙන්ම, එම පනත මගින් පළාත් සභාවල ක්‍රියාකාරිත්වය බරපතළ ලෙස අඩපණ වන නිසාත් තනි කැබිනට්‌ ඇමැතිවරයකු අතට අසීමිත බලතල රාශියක්‌ පත්වන නිසාත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව බලාපොරොත්තු විය යුතුව තිබුණි. එහෙත් අද දවසේ රජයන කිසිවක්‌ නොඉවසන පන්නයේ දේශපාලන වාතාවරණයක්‌ නිසා දිරවාගන්නට අමාරු අධිකරණ තීන්දු ඉවසා දරා සිටින්නට ආණ්‌ඩුව සූදානම් නැත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට එරෙහිව දෝෂාභියෝග ගෙනෙන විට එලෙස චෝදනා ලබන විනිශ්චයකාරවරුන්ට ආරක්‌ෂාව සලසා ගන්නා මාර්ග 1978 ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පනවා තිබුණේ නැත. එහෙත් හයෙන් පහක වැඩි ඡන්ද බලයක්‌ පාර්ලිමේන්තුව තුළ භුක්‌ති විඳිමින් සිටි එජාපය 1978 දී සම්මත කරගත් ස්‌ථාවර නියෝග යටතේ කිසියම් විනිශ්චයකාරවරයකුට එරෙහිව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්‌ මගින් චෝදනා ඉදිරිපත් කරනවා නම් ඒ විනිශ්චයකාරවරයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ඉදිරිපත් කිරීම සුදුසුද නැද්ද කියා ප්‍රථමයෙන් එම විමර්ශන කාරක සභාව විසින්ම විමර්ශනය කළ යුතුය. ඇත්තෙන්ම යුක්‌තිය ඉටුකිරීම පමණක්‌ නොව එසේ ඉටුකරන බව ක්‍රියාවෙන් පෙනෙන්ටත් ඕනෑය. කෙසේ වෙතත්, අපේ පාර්ලිමේන්තුවේ ස්‌ථාවර නියෝග ඉන්දීය පාර්ලිමේන්තුව අනුගමනය කරන ස්‌ථාවර නියෝගවලට වඩා ඉඳුරාම වෙනස්‌ය. කිසියම් විනිශ්චයකාරවරයකුට එරෙහිව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායමකින් සමන්විත කමිටුවක්‌ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් ප්‍රථමයෙන් එම විනිශ්චයකාරවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු, මහාධිකරණ විනිශ්චයකාරවරයකු, පිළිගත් නීති විශාරදයෙකු යන තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක විමර්ශනයට මුහුණදිය යුතුය. මන්ද කියනවා නම් මෙකී විමර්ශන තනිකරම නෛතික ස්‌වාභාවය ගන්නා නිසාය. එවිට චෝදනා ලැබූ විනිශ්චයකාරවරයාට එම කමිටුව නෛතික වශයෙන් සමාලෝචනය කළ කාරණාවල පිහිටාධාරය ලබාගැනීමට පුළුවන්කම ලැබෙනවා ඇත.

අපේ ව්‍යවස්‌ථාව යටතේ ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක්‌ ගෙනෙන විට එය පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක වැඩි ඡන්ද බලයකින් අනුමත විය යුතු අතර අනතුරුව එම චෝදනා විභාග කොට තීන්දු ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට එය යොමු කෙරෙන්නේය. ඒ අනුව ජනාධිපතිවරයෙකු වරදකරුවෙකු දැයි නැද්දයි තීරණය කරන්නේ චෝදනා ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොව රටේ උසස්‌ම අධිකරණ සේවාව විසින්ය. පළාත් පාලන ආයතනයක සේවයේ නියුතු නගරාධිපතිවරයෙකු හෝ සභාපතිවරයෙකු හෝ සභිකයෙකු හෝ ඉවත් කළ හැක්‌කේ විශ්‍රාමලත් අධිකරණ නිලධාරියකු ලවා විමර්ශනයක්‌ පවත්වා අදක්‍ෂභාවය හා බලය අයුතු ලෙස පරිහරණය කිරීම වැනි චෝදනා විෂයෙහි වරදකරුවෙකුදැයි නැද්දැයි තීන්දු කිරීමෙන් පසුවය. එම තීන්දුව ද නැවතත් නීතිමය සමාලෝචනයකට භාජනය කළ හැකිය. රැකියාවෙන් නෙරපා දැමෙන ශ්‍රමිකයකුට කම්කරු උසාවියට යන්නටත් අනතුරුව මහාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරන්නටත් පුළුවන. රජයේ සේවකයෙකුට රාජ්‍ය සේවා කොමිසමටත් අනතුරුව පරිපාලන අභියාචන විනිශ්චය සභාවටත් ආයාචනා ඉදිරිපත් කරන්නට පිළිවන. ඒ දෙකෙන්ම සෑහීමකට පත්වන්නේ නැත්නම් අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නෛතික පිහිට පතන්නට රජයේ සේවකයකුට පිළිවන. ඒ කෙසේ වෙතත්, ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මේ රටේ යුක්‌තිය පසිඳලන උසස්‌ම අධිකාර දෙක වන අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවයේ නියුතු විනිශ්චයකරුවන්ට යම් හෙයකින් යුක්‌තිය ඉටුනොවන අවස්‌ථාවක්‌ එළැඹි විට ඊට පිළියම් යෙදිය හැකි ක්‍රියාමාර්ගයක්‌ ඇත්තේ නැත.

උත්තරීතර අධිකරණවල සේවයේ නියුතු විනිශ්චයකරුවන් චෝදනාවලට ලක්‌වූ විට ඔවුනට නීතියේ රැකවරණය ලබාදීමේ ප්‍රශ්නය, මා ජනාධිපති ධුරය ඉසිලූ සමයේදී පත්කරන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ යෝජනා ඉදිරිපත් කිරීමේ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව විසින් සලකා බලන ලද්දේය.විශේෂ කාරක සභාවේදී එළැඹගත් සම්මුතියට අනුව, මගේ ආණ්‌ඩුව 1997 ඉදිරිපත් කළ ආණ්‌ඩුක්‍රම ප්‍රතිසංස්‌කරණ යෝජනාවලියද 2000 අවුරුද්දේ අගෝස්‌තු 3 වන දින මවිසින්ම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා පනත ද මේ ප්‍රශ්නයට විසඳුමක්‌ ඉදිරිපත් කර තිබිණි.

තමන්ට දිරවාගත නොහැකි අධිකරණ තීන්දු ලැබුණුවිට ඒවාට ගෞරව කරන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ලෙස ආණ්‌ඩුවලින් ඉල්ලා සිටී. මගේ නායකත්වය යටතේ ජනතා සන්ධානය බලයේ සිටිද්දී ආණ්‌ඩුවට එරෙහිවූ අධිකරණ තීන්දු කිහිපයක්‌ම ඉදිරිපත් විය. ඒවා අතරින් කැපී පෙනෙන කීපයක්‌ මෙසේ දක්‌වත හැකිය. සබරගමු හා උතුරු මැද පළාත් සභා විසුරුවා හැරීම, පළාත් සභාවල සභික ධුර පිරවීම සඳහා අපේක්‌ෂක නාමයෝජනා ලැයිස්‌තුවෙන් බාහිරවූ පුද්ගලයන් සභාවලට පත්කිරීම, එප්පාවල පොස්‌පේට්‌ නිධිය ගවේෂණය කොට කැණීම සඳහා අත්සන් කළ ගිවිසුම, කටුනායක ගුවන් තොටුපළේ ටැක්‌සි රියෑදුරු සංගමය ආණ්‌ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා තිබූ නඩුව විභාග කොට ඇමැති ජෙයරාඡ් µර්නැන්ඩු පුල්ලේ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක්‌ හා වෙනත් කරුණු පදනම් කරගෙන ආණ්‌ඩුවට එරෙහිව තීන්දුව ප්‍රකාශයට පත්කළේය. ඒ අවස්‌ථාවේදී පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කළේ යෑයි කියා විනිශ්චයකාරවරුනට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් වූයේ නැත. ඒ වෙනුවට, පවත්නා නීතිය පිළිගනිමින් තීන්දුව සමාලෝචනය කරන ලෙස ඉල්ලා පෙත්සමක්‌ ඉදිරිපත් කෙරිණි. ස්‌වකීය තීන්දුව සමාලෝචනය කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය එක හෙළා ප්‍රතික්‌ෂේප කළේය. ඇත්තෙන්ම අධිකරණය ආණ්‌ඩුවට එරෙහිවීමේ හොඳම උදාහරණය නම් ජනාධිපතිවරයෙකු ධුරය හෙබවීමේ කාලය අවුරුදු හයේ සිට පහ දක්‌වා අඩුකරමින් 2005 අගෝස්‌තු මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවයි.” මේ එම තීන්දුව ලැබීමෙන් ජනාධිපතිවරිය පුදුමයට පත්වූයේ පෙර වතාවකදී අග්‍රවිනිශ්චයකාරවරයා ඇයට මෙසේ කියා තිබූ හෙයිනි. “ඕනෑම වතාවක්‌ ජනාධිපති ධුරයේ වැඩ බාරගනිමින් දිවුරන්න. දවස ගානේ වුවත් කමක්‌ නැහැ. හැබැයි, පළමුවන ජනාධිපති ධුරය අහෝසිවන අවුරුදු හයේ කාලය අවසන්වන්නේ 2000 නොවැම්බර් මාසයේදී. ඇමැතිවරුන්ගේ දැඩි බලපෑම් ඇතිවුවත්, එම තීන්දුව වැරදි බැවින් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර මණ්‌ඩලයක්‌ ඉදිරියේ නැවත නඩුව විභාග කළ යුතු බවට කොතෙකුත් නීති උපදෙස්‌ ලැබුණත්. අග්‍රවිනිශ්චයකාරවරයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන එන්නට ජනාධිපතිවරියට අවශ්‍ය වූයේ නැත.

සමහර අධිකරණ පත්වීම් දැඩි මතබේද හා වාදවිවාදවලට තුඩු දුන් අවස්‌ථා අපේ රටේ ඉතිහාසය තුළ දක්‌නට තිබේ. මගේ පාලන සමයේදී ද එවැනි අවස්‌ථා දක්‌නට ලැබිණ. කිසියම් විනිශ්චයකාරවරයකු තමා පත්කළ පාලනාධිකාරයේ හෝ ජනතාවගේ හෝ බලාපොරොත්තු කඩවන ආකාරයෙන් හැසිරෙන්නට පුළුවන. එහෙත් සැමදෙනාම, විශේෂයෙන් ආණ්‌ඩු, අධිකරණ තීන්දු, ගෞරව සම්ප්‍රයුක්‌තව පිළිගැනීම අත්‍යාවශ්‍යය. ශ්‍රී ලංකාවේ සිටි දීප්තිමත්ම නීතිඥවරුන් අතරින් කෙනෙකු වන ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වරෙක මෙසේ කීවේය. නරක විනිශ්චයකාරවරුන් එදා සිටියා වන්නට පුළුවන. හෙටත් ඉන්නට පුළුවන. එහෙත් අද ඇත්තේ නැත. දිරවාගන්නට අපහසු නඩු තීන්දු අප බාරගත යුත්තේ එවන් ජීවගුණයෙන් යුක්‌තවය.

බලය බෙදීම නම් සංකල්පය හේතුකොට ගෙන රාජ්‍යයේ ශාඛා තුනක, පැවැත්ම, එනම් පාර්ලිමේන්තුව හා එහි තෝරාපත් කරගත් ආයතන, විධායක අධිකරණය යන ශාඛා තුනේ පැවැත්ම සහතික වෙයි. එම ශාඛා තුනට එකිනෙකාගේ බලපෑමෙන් තොරව නිදහසේ ස්‌වාධීනව ස්‌වකීය බලතල පාවිච්චි කරන්නට ප්‍රස්‌ථාවය ලැබෙන්නේ එවිටය. ඉදින්, මෙකියන බලය බෙදීම නම් සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී ආණ්‌ඩුකරණය ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙරෙන මුල්ගලය.

අධිකරණය ක්‍රියා කළ යුත්තේ බලයේ සිටින ආණ්‌ඩුවේ සිතැඟි හා මනාපය අනුව යෑයි කිසියම් ආණ්‌ඩුවක්‌ විශ්වාස කරනවා නම් ඒ ආණ්‌ඩුව ප්‍රජාතන්ත්‍රවාදයත් මිනිසුන්ගේ නිදහසත් මහ අනතුරක හෙළනවා ඒකාන්තය.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, විශේෂයෙන් ආණ්‌ඩු පක්‍ෂයට අයත් මන්ත්‍රීවරුනි, ඊටත් විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට අයත් මන්ත්‍රීවරුනි, පටු පුද්ගලික උවමනාවන් පෙරදැරි කරගෙන අද මතු කර තිබෙන ප්‍රශ්න දෙස එයාකාරයෙන්ම නොබලන්න. අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක්‌ ඉදිරිපත්කොට එම අග්‍රවිනිශ්චයකාරවරිය ධුරයෙන් ඉවත් කිරීමට ගන්නා මේ වෑයම ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, අධිකරණයේ ස්‌වාධීනත්වයට ගරුකරන අප සියලුම දෙනා හෙළාදැකිය යුතුය. රටේ අධිකරණය රැක ගැනීම පුරවැසි අපේ යුතුකමය. අධිකරණය සුරැකීම තුළින් අප සුරකින්නේ අපවය. අපගේ මූලික නිදහසය.

Gossip Lanka Hot News Previous News Archive