ලෝක බලවතා ලෙස තේරී පත්වන්නේ ඔබාමාද රොම්නිද යන්න තීරණය කෙරෙන අතිශය තීරණාත්මක අමෙරිකා ජනපතිවරණය අද දින ආරම්භ වෙයි. සමීක්ෂණ රැසකින් අනාවරණය වී ඇත්තේ ඔබාමාත්- රොම්නිත් කරට කර සිටින බවය. කෙසේ වෙතත් දශමයකින් හෝ වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගනිමින් ඔබාමා නැවත වරක් අමෙරිකාවේ ජනපති පුටුවට පත්වනු ඇති බව මේ සමීක්ෂණ බොහොමයකින් හෙළිදරව් වේ.
නිව් හැම්ෂයර් විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්ෂණයකින් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම සියයට 47 බැගින් ලබා ගන්නා බව හෙළි වී තිබේ. වොෂිංටන් පෝස්ට් සහ ඒබීසීි පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් දෙදෙනා සියයට 48ක සම ඡන්ද ප්‍රතිශත ගන්නා බව හෙළි විය.
සීිඑන්එන් පුවත්සේවය පැවැත්වූ සමීක්ෂණයකින් සියයට 49ක සම ඡන්ද ප්‍රතිශත ඔබාමා හා රොම්නි ලබාගන්නා බව අනාවරණය වී ඇත. ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාල පැවැත් වූ සමීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සියයට 48%ක සම ඡන්ද ප්‍රතිශත ලබා ගන්නා බවයි. කෙසේ වෙතත් ඔබාමාට ඉතාම සුළු වශයෙන් වාසි ගෙනදෙන බව හෙළි කරන සමීක්ෂණ වාර්තා ද තිබේ. වෝල් ස්ටී්රට් ජර්නල් සහ එන්බීසී පුවත් සේවය පැවැත්වූ සමීක්ෂණයක් අනුව ඔබාමා සියයට 48කුත් රොම්නි සියයට 47කුත් ගනිති. රියල් ක්ලියර් පොලිටික්ස් සංවිධානය කළ විශ්ලේෂණයකට අනුව ඔබාමාට ආසන 201කුත් රොම්නිට ආසන 191කුත් හිමිවනු ඇත. මේ දෙදෙනාගේ ඉරණම තීරණය කිරීමට ඉතිරි ආසන 146න් වැඩි ප්‍රතිශතය අත්පත් කරගත යුතුවේ.
මුළු ඡන්ද ආසන 538 ක් ඇති අතර ජයග්‍රහණය සඳහා 270 ක් තමා සතු කරගත යුතු වේ. රොම්නිගේ උපන් ගම් ප්‍රදේශය පිහිටි මිචිගන්වල වැඩි බලයද ඔබාමාට වාසි දායක ලෙස පවතී.
පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන පිව් හෙළි කරන පරිදි ඔබාමා සියයට 48ක් ලබමින් රොම්නි ලබාගන්නා සියයට 45ට වඩා ඉදිරියට පැමිණෙයි. පිව් පවසන පරිදි රටේ සමස්ත ප්‍රතිඵලයේදී ඔබාමා සියයට 50ක්ද රොම්නි සියයට 47ක්ද හිමිකර ගනිති.
රියල් ක්ලියර් පොලිටික්ස් පවසන පරිදි රටේ මෙතෙක් පැවැති ජාතික මැතිවරණවල සාමාන්‍ය ප්‍රතිශතයට වඩා දශම පහක් වැඩියෙන් ඔබාමා මෙවර වාර්තා කරනු ඇත. පිරිමින්ගේ ඡන්දවලින් රොම්නි ඒකක හතක් ඉදිරියෙන් සිටින අතර ඔබාමා කාන්තාවන්ගේ ඡන්දවලින් ඒකක හයක් ඉදිරියෙන් සිටියි. විචාරකයන් පවසන්නේ ඔබාමාට වඩා වාසිදායක වන්නේ අවසාන මොහොතේදී තීරණය කරන ඡන්ද බවයි.