එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව විශ්ව කාලාන්තර සමාලෝචනය පසුගිය 01 වැනිදා විවාදයට ගැනිණ.
ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිල මූලස්ථානයේ පැවති විවාදය ආරම්භයේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.
අමාත්‍යවරයා පැවසූවේ, ලබන වසරේදී උතුරු පළාත් මැතිවරණය පැවැත්වීම ස්ථීර බවය.
ජනාධිපති විශේෂ නියෝජිත අමාත්‍ය මහින්ද සමරසිංහ
''වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධ ගැටලු සහ මානුෂවාදී හා මානව හිමිකම් පිළිබඳ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමේදී සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සන්නද්ධ මෙහෙයුම් සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය සකස් කිරීමේ ප්‍රධාන සාධකය බව උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම ඔවුන්ගේ වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ වගේම හිතාමතා සිවිල් වැසියන් ඉලක්ක කර ගැනීම කිසිසේත්ම උපාය මාර්ගවල කොටසක් නොවූ බවත් එහි දැක්වෙනවා. අපි අවධාරණය කර තිබෙනවා. අපගේ මෙම ජාතික වාර්තාව තුළ රජය දැනටමත් පියවර ගනණාවක් ගෙන ඇති බව, මෙම පියවර ගෙන ඇත්තේ, කිසිම ආකාරයක අනුමානයකින් තොරව වගවීම සම්බන්ධයෙන් වන ප්‍රශ්නවලදි සැබෑ නිගමනවලට ඉඩ ලැබෙන පරිදිය. නීතිය උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් පිළිගත හැකි සාක්ෂි අප සතුව ඇත් නම් රට තුළ පවතින නීතිමය රාමුව ක්‍රියාවට නගනවා. මම අවධාරණය කළ යුතුයි. ශ්‍රී ලාංකිකයින් සහ රජය අපේ ජනතාව සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් වගවීමට බැඳී සිටින බව, ගැටුම් සියලු දෙනාගේ ජීවිතවලට බලපෑම් එල්ල කරනවා. වසර 30 දීර්ඝ සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක වෙද්දී ලංකාවේ සිදු වූවා මෙන් එය ජන පරම්පරා ගණනාවකට බලපානවා. මේ හේතුව නිසා යළිත් වරක් අතිතයේ සිදු වූ මෙවැනි අත්වැරදි යළි සිදු නොවීම සඳහාත් සැබෑ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සඳහාත් රජය මූලික පියවර ගෙන තිබෙනවා. අපි දන්නවා ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පහසු ව්‍යායාමයක් නෙවෙයි. ඒ වගේම එය එක් රැයකින් දිනා ගත හැකි එකක් ද නොවෙයි''
එලීන් ඩොනහව් අමෙරිකා එක්සත් ජනපදය
''ගැටුම් පැවතුන ප්‍රදේශ තවදුරටත් හමුදාකරණය වීම සහ විධායක බලය ස්ථාපිතවීම පිළිබඳව අපි තවදුරටත් අවධානයෙන් සිටිනවා. ඒ වගේම අදහස් පළ කිරීමේ නිදහස අවහිර කිරීම අතුරුදන් වීම් වද හිංසා පැමිණවීම ඝාතන ඇතුළු බරපතල මානව හිමිකම් කඩ කිරීම තවදුරටත් සිදු වෙනවා. මේවා සිත්හි තබා ගනිමින් එක්සත් ජනපදය පහත නිර්දේශ ඉදිරිපත් කරනවා. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව සිවිල් ක්‍රියාකාරකම්වලින් හමුදාව ඉවත් කිරීම ඒ වගේම අතුරුදන්වූවන් සහ රඳවා සිටින්නන් සම්බන්ධයෙන් වන ප්‍රශ්න නිරාකරණයට යන්ත්‍රණයක් සකස් නිරීම මෙන්ම මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඇති චෝදනාවලින් නිදහස් වී වගවීම සම්බන්ධයෙන් වන නීතිමය බැඳීම සම්පූර්ණ කළ යුතුයි. විශේෂයෙන් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් එල්ල වීමේ උත්සාහය සම්බන්ධයෙන් පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සලකන විට රජය අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීම අවසන් කර අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කළ යුතුයි. ඒ වගේම අධිකරණ සාමාජිකයින්ට ප්‍රහාර එල්ල වීමෙන් ආරක්ෂා කරගත යුතුයි''