මවුකිරි බැංකුවක් ශ්‍රී ලංකාවේ, Breast milk bank in sri lanka

මවුකිරි බැංකුවක් මෙරට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අවධානය යොමු කෙරේ. රැකියා කටයුතුවලට යන මවුවරුන්ට දරුවාට මවුකිරි ලබා දීම පිළිබඳ ගැටලු මතු වේ. ඊට විසඳුමක් ලෙස මේ බැංකුව ස්ථාපිත කිරීමටඑම කාර්යාංශය අවධානය යොමු කර ඇති බව ජාතික පෝෂණ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පවසයි.



ලෝක මවුකිරි දීම පිළිබඳ ප්‍රවනතා අධ්‍යයනයේ ශ්‍රී ලංකා වාර්තාපත 2012 එළිදැක්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (21) සිදුකෙරිණ. එම අවස්ථාවේදී මේ කරුණු හෙළි කෙරිණ.දරුවා ඉපදී මාස තුන හතරෙන් රැකියා කටයුතු සඳහා යාමට සිදු වන මවුවරු බොහොමයක් දරුවන්ට පිටි කිරි ලබා දීමට කටයුතු කරයි. පිටි කිරි ලබා දීමෙන් දරුවාගේ පෝෂණයට බාධාවක් සිදු වන අතර අනිවාර්යයෙන්ම මාස හයක් යන තෙක් මවුකිරි පමණක්ම ලබා දීම සිදු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරු පවසති.

මවුකිරි අහිමි වූ දරුවන්ට මවුකිරි ලබා දීම මේ බැංකුව මඟින් සිදු කළ හැකි අතර දරුවන්ගේ පෝෂණ ගැටලු ඉන් විසඳීමට හැකි බව ලලිත් චන්ද්‍රදාස මහතා පවසයි.අඩු බර උපත් සහිත දරුවන්ට ද ඔවුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමට මේ බැංකුව කදිම අවස්ථාවක් වනු ඇතැයි ඒ මහතා ප්‍රකාශ කරයි.දරුවකු ඉපදී මුල් මාස හයේ දී මවුකිරි ලබා දීම දරුවාගේ කායික වර්ධනයට හා බුද්ධි වර්ධනයට අත්‍යවශ්‍ය වේ.

දරුවකුගේ ප්‍රතිශක්තීකරණය සඳහා ද මවුකිරි අත්‍යවශ්‍ය වේ.පිලිපීනය වැනි රටවල ද ප්‍රජා මූලික මවුකිරි බැංකු පිහිටුවා සාර්ථක ප්‍රතිඵල ලබා ඇත. වැඩි වියදමක් නොදරා පහසුවෙන් මේ බැංකු පිහිටුවිය හැකි බව ද හෙතෙම කීය.

Gossip Lanka Hot News Previous News Archive