මවක්‌ පුතු ද සමග ගිනිතබාගෙන දිවිනසා ගනී,Burnt bodies of mother and son found in Mudunkotuwa

කිරිඇල්ල මාටුආගල මුදුන්කොටුව ප්‍රදේශයේ තරුණ මවක සිය හත් හැවිරිදි දරුවා ද සමඟ නිවස තුළ ගිනි තබාගෙන මියගොස්‌ සිටියදී කිරිඇල්ල පොලිසියට ඊයේ (20 වැනිදා) පෙරවරුවේ මළසිරුරු හමුවී ඇත.





මෙසේ මියගොස්‌ ඇත්තේ මාටුආගල මුදුන්කොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ. එච්. අනුෂා නිශාන්ති (32) නමැති මව සහ බී. එල්. ඒ. ගිහාන් (7) නමැති දරුවා බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

මියගිය කාන්තාව තම සැමියාගේ නිවසේ ඔහුගේ දෙමාපියන් සහ දරු දෙදෙනා සමග වාසය කර ඇත. මීට මාස තුනකට පමණ පෙර ඇයගේ තුන් හැවිරිදි දරුවා අතට අසු වූ "කොරෙක්‌ස්‌" නමැති ඖෂධයේ මාත්‍රාව වැඩිපුර පානය කිරීම නිසා මියගොස්‌ තිබේ. මියගිය කාන්තාව ඊට වගකිවයුතු බවට නිතර දොස්‌ ඇසීමට සිදුවී තිබේ.

මේ පිළිබඳව සිත් තැවුලෙන් සිටි මේ තරුණ මව සැමියාට අයත් සියලු වටිනා දේ නිවසට යාබද ගරාජයේ වෑන් රථයට දමා නිවස තුළට වී ගිනි තබාගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී හෙළි වී ඇත.

මියගිය දරුවා කිරිඇල්ල ශ්‍රී දේවරක්‌ත ප්‍රාථමික විදුහලේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි.

ඊයේ අලුයම 2.10 ට පමණ යාබද නිවසක අසල්වැසියකුට ඇසුණු ශබ්දයක්‌ සමග අවදි වී බැලීමේදී මෙම නිවසේ කාමරයක්‌ තුළ ගිනි ඇවිලෙන අයුරු දැක ඇත. අසල්වාසීන් එක්‌ව ගින්න නිවා දමා ඇතත් මව සහ පුතා නිදියහනේ පිළිස්‌සී මියගොස්‌ සිටියහ.

මේ සම්බන්ධයෙන් කිරිඇල්ල පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. සිද්ධිය වන අවස්‌ථාවේ නිවසේ සිට ඇත්තේ මිය ගිය දෙදෙනා පමණක්‌ වන අතර රත්නපුර ප්‍රදේශයේ රැකියාවක නියුතු සැමියා එදින සවස පැමිණ නොසිටි බව හෙළි වී තිබේ. නිවසේ සිටි ඔහුගේ මව සහ පියාද පෙර දින තම දියණියගේ නිවසට ගොස්‌ තිබේ.

ගරාජයේ නවතා තිබූ වෑන් රථයේ තිබී ලක්‍ෂ 10 කට අධික වටිනා ස්‌වර්ණාභරණ ද මුදලින් රුපියල් 20,000 ක්‌, රථවාහන ලියකියවිලි, ඉඩම් ඔප්පු හා සැමියාගේ සියලු ඇඳුම් පැළඳුම් ද මියගිය බිරිය විසින් ලියා තිබූ ලිපි 3 ක්‌ ද හමුවී ඇත.

එම ලිපිවල සඳහන්ව ඇත්තේ දරුවා මියයැම නිසා තමන් දැඩි සිත්තැවුලෙන්ද සියලු දෙනාම එම මරණයේ වගකීම තමන්ට පවරා දොස්‌ කීමෙන්ද තමන් දැඩි අසහනයකින් සිටි බවයි. එම නිසා තමන් සිය දිවි නසා ගන්නා බවද එම ලිපිවල සඳහන් කර තිබිණි.

මියගිය දරුවාගේ තුන්මාසෙ දානය දී දින 10 කි. එම පරිසරය තුළ මෙම කාන්තාව හා දරුවා තනිව තැබීම හේතුවෙන් කිසිවක්‌ නොතේරෙන දරුවාටත් තම මව සමග අවසන් ගමන් යැමට සිදුවීම ප්‍රදේශවාසීන්ගේ දැඩි කනගාටුවට හේතුවී ඇත.

රත්නපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් චන්දිමා බණ්‌ඩාර මහත්මිය මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ පැවැත්වූ අතර රත්නපුර සහකාර පොලිස්‌ අධිකාරි උජිත් ලියනගේ, කිරිඇල්ල වැඩබලන පොලිස්‌ ස්‌ථානාධිපති වීරසේන යන මහත්වරු ඇතුළු පිරිසක්‌ පරීක්‍ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive