Fun call to 119 ට ජොලියට කෝල් කරලා

වරදකරුට දඩ හා අත්හිටවු සිරදඬුවම්

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) බොරු පැමිණිල්ලක් කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 1500 ක දඩ මුදලක් හා මාස 06 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය පෙරේදා (15) නියම කළාය.


දඬුවම් හා දඩ නියම වූයේ 21 ජනපදයේ ගලෙන්බිඳුනුවැව පදිංචි එච්. ඒ. දොන් ධර්මසේන නැමැත්තාට යි. මාස 06 ක සිරදඬුවම වසර පහකට අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ අතර එම කාලය තුළ මෙවැනි වරදක් සිදුකර නැවත අධිකරණයට පැමිණියහොත් අත්හිටවු සිරදඬුවම් ක්‍රියාත්මක කරන බවද මහේස්ත්‍රාත්වරිය සැකකරුට තරයේ අවවාද කරමින් කියා සිටියාය.

කහටගස්දිගිලිය (සංචාරක මහේස්ත්‍රාත්) අධිකරණයට සැකකරුවා ඉදිරිපත් කළ ගලෙන්බිඳුනුවැව පොලිසිය කියා සිටියේ මීට මාස තුනකට පමණ ඉහතදී සැකකරු රාත්‍රියේ සොරකු අත්අඩංගුවට ගෙන සිටින බවට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ 47818 ඉලංගසිංහ හා 2029 සේනානායක යන නිලධාරීන් ගලෙන්බිඳුනුවැව 21 ජනපදයට ගොස් බලන විට සැකකරු බීමත්ව සිටි බවත් ඔහුගෙන් සොරා ගැන ඇසූ අවස්ථාවේ ජොලියට දුරකථන ඇමතුම දුන් බවත් පැවසූ නිසා ඔහු අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට දන්වා සිටියේ ය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයා සිදු කළ වරද පිළිගන්නා බවත් එම නිසා සැකකරුට සමාව අයදින බවත්ය. ගලෙන්බිඳුනුවැව පොලිසියේ ස්ථානාධිපති පො.ප. චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත 47818 කොස්තාපල් ඉලංගසිංහ මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive