මේ අයවැය හිස් පීප්පයක්. - JVP

මේ අයවැය හරියට තට්ටු කළාම සද්දෙ හොඳට තියෙන ඇරලා බැලුවාම ඇතුළේ මදයක් නැති හිස් පීප්පයක් වගේ බවත් අයවැයෙන් සහන ලබාදී ඇත්තේ කළු සල්ලිකාරයින්ට සහ ජාවාරම්කාරයින්ට පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමු‍වට එක්වෙමිණි.
එහිදී ඒ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන් පහත පළ වේ.



ජනපතිට දවසට කෝටී 2යි - රාජ්‍ය සේවකයාට රු. 25යි

"පසුගිය කාලය පුරාවට මේ ආණ්ඩුවෙන් පීඩාවට පත්වුණු රාජ්‍ය සේවකයන්, පෞද්ගලික අංශයේ සේවකයින් සහ වතු සේවකයින් ඇතුළු පොදු ජනතාව මෙවර අයවැයෙන් යම් හෝ සහනයක් ලබාදේවී යැයි යම් බලාපොරොත්තුවකින් සිටියා. ඒ වගේම වැඩකරන ජනතාව තමන්ට ජීවත් වීමට සරිලන වැටුප් වැඩිවීමක් ඉල්ලමින් වැටුප් අරගලයක සිටියා. නමුත් මෙවර අයවැයෙන් ජනතාවට කිසිදු සහනයක් ලබාදීලා නැහැ. රටේ අනාගතය ගැන, ආර්ථික සංවර්ධනය පිළිබඳ, ආණ්ඩුවේ ආර්ථික දැක්ම පිළිබඳව, ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ කිසිදු සඳහනක් නැති අයවැයක්. ආදායම් වියදම් පමණක් ඇතුලත් කරලා හදපු අයවැයක්. සාමාන්‍යයෙන් අයවැයක් කියන්නේ රටක පුළුල් ආර්ථික උපායමාර්ගයන් සහිත ප‍්‍රතිපත්ති සහිත ආර්ථිකය සංවර්ධනය පිළිබඳ ඉදිරි වැඩපිළිවෙල අඩංගු ලියවිල්ලක්. නමුත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ගෙනාපු 2013 අයවැයේ මේ මොකුත් නැහැ. හරියට මරණාධාර සමිතියක අයවැයක් වගේ. ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු කෑගැහුව්වට, ආණ්ඩුව පම්පෝරි ගැහුව්වට නවලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යන්න අධිරාජ්‍යවාදී උවමනාවන්ට අනුව අයි.එම්.එෆ් අරමුදලේ කොන්දේසි අනුව ගෙනාපු අයවැයක්. මහා ලොකු රැවටීමක් පමණයි තියෙන්නේ.
වැඩකරන ජනතාවට රජයේ, පෞද්ගලික අංශයේ වතු සේවකයින්ට වැටුප් වැඩිවීමක් ඉල්ලුවා. ආණ්ඩුව ගිය අවුරුද්දේ වැඩිවන ජීවන අංකයකට රුපියල් 2.50ක් දෙන්න පොරොන්දු වුණා. ආණ්ඩුවේ ගණනය කිරීම් වලට අනුව පහුගිය කාලය ඇතුළත වැඩිවුණු ජීවන වියදමෙන් වැඩකරන ජනතාවට හිමිවිය යුතු ජීවන අංක දීමනාව රුපියල් 13,442.50ක්. ආණ්ඩුව මෙවර අයවැයේදී යෝජනා කළා රාජ්‍ය සේවකයන්ට රුපියල් 1,500ක දීමනාවක්. නමුත් වැඩකරන ජනතාව ඉල්ලපු ජීවන අංක දීමනාවෙන් ලැබිල තියෙන්නේ 1/10කටත් අඩු ගාණක්. මාධ්‍යවලත් ප‍්‍රධාන ප‍්‍රවෘත්තියක් බවට පත්වුණේ රාජ්‍ය සේවකයාගේ පඩි වැඩිවීම. නමුත් ඒ පඩි වැඩිවීම කියන්නේ ඇස් බැන්දුමක් පමණයි. ලබන ජනවාරියේ සිට රුපියල් 1,500 ලැබෙන්නේ නැහැ. සූත‍්‍රය මොකක්ද? ජනවාරියේ සිට හැම රාජ්‍ය සේවකයටම ලැබෙන්නේ රුපියල් 750ක දීමනාවක්. ඊළඟට මූලික වැටුපෙන් 5% දීමනාවක් රුපියල් 750ක අවමයකට සහ රුපියල් 2,500ක උපරිමයකට යටත්ව ලබාදෙන්න යෝජනා කරල තියෙනවා. මෙයින් 50%ක් ලැබෙන්නේ ලබන මැයි මාසයේ සිටයි. ඉතිරි 50% සැප්තැම්බර්වල සිටයි. එයිනුත් මාණ්ඩලික ශ්‍රේණියේ සේවකයින් සඳහා එම මුදලින් 50%ක් ජූලි මාසයේද ඉතිරි 50% ඔක්තෝබර් මාසයේද ලැබීමට නියමිතයි. එලෙස ගත්තාම රාජ්‍ය සේවකයින්ට රුපියල් 1,500ක් ලැබෙන්නේ 2013 ඔක්තෝබර් මස සිටයි. ඊට අමතරව අග‍්‍රහාර රක්‍ෂණය සඳහා කපාගන්නා ප‍්‍රමාණය රුපියල් 75 සිට රුපියල් 125 දක්වා වැඩිකර තිබෙනවා. අතට හම්බවෙන රුපියල් 750න් නැවත රුපියල් 50ක් ආණ්ඩුව අයකර ගන්නවා. එහෙම ගත්තාම රාජ්‍ය සේවකයින්ට ඇත්තටම වැඩිවි ඇත්තේ දිනකට රුපියල්25ක් වැනි සොච්චම් මුදලක්. ජනාධිපතිවරයාගේ දිනක වියදම රුපියල් කෝටි 2ක් පමණ වෙනවා. මේ ආණ්ඩුව රාජ්‍ය සේවකයින් දෙකයි පනහට දාලා තියෙන්නේ.
ආණ්ඩුවේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවට අනුව 2011 සැප්තැම්බර් වන විට 4දෙනෙක්ගෙන් යුතු පවුලක මාසික වියදම රුපියල් 42,445.97ක් බව ගණනය කර තිබෙනවා. එය 2012 සැප්තැම්බර් වන විට රුපියල් 46,307.54ක් දක්වා රුපියල් 3,861කින් පමණ වැඩිවෙලා තිබෙනවා. ඒ අනුව බැලුවාමත් මෙම වැටුප් වැඩිවීම යනු ප්‍රෝඩාවක් පමණයි. රුපියල් 1,500ක් ලබාදෙනවා යැයි ප‍්‍රචාරය කරලා අදියර කිහිපයකට ලබාදීමේ සූදානමක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. අයවැය කතාවේ 66 පිටුවේ සඳහන් වෙනවා "වැටුප් වැඩිවීම සාධාරණීකරණය කළ හැකි වන්නේ බදු ගෙවන ජනතාවට එය දරාගත හැකිද යන්න අනුවයි" යනුවෙන්. ජනාධිපතිට මතක් වෙන්නේ නැහැ දවසකට රුපියල් කෝටි 2ක් වෙන්කරගන්නකොට බදු ගෙවන ජනතාවට එය දරාගත හැකිද කියලා. ඒ වගේම අගමැතිට, වැඩක් නොකර ඉන්න ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට කෝටි ගණන් මුදල් වෙන් කරද්දී මහ දැවැන්ත නාස්ති කිරීම් සිදුවෙද්දී හෙජිං ගිවිසුම, මිහින් ලංකා පාඩුව, බාල තෙල් ගෙනැවිත් සිදුකරගත් පාඩුව, එවැනි දැවැන්ත නාස්තියක් සිදුවෙද්දී ජනාධිපතිවරයාට ජනතාව ගැන මතක් වෙන්නේ නැහැ. ජනතාව ගෙවන බදු මුදල් ගැන මතක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව ජනතාව ගැන අනුකම්පාවක් නැති රජ පවුලට බෙදාගන්නා ක‍්‍රමයක් තමයි අයවැයෙන් ගෙනල්ලා තිබෙන්නේ.
ඊළඟ කාරණය තමයි මෙම අයවැයෙන් ධීවරයන්ට කිසිම සහනයක් නැහැ. අඩුම තරමේ ධීවර ජනතාව ගැන කිසිදු සඳහනක් මේ අයවැයේ නැහැ. නමුත් මෙම ජනාධිපතිවරයා හිටපු ධීවර ඇමතිවරයෙක්. නිෂ්පාදන කි‍්‍රයාවලියට දායක වන ජනතාව අමතක කළ අයවැයක්. අනෙක් කරුණ තමයි මේ රටේ ගැටළු ගණනාවකට මුහුණ දුන් පිරිසක් වන ගොවි ජනතාව. එම ගොවීන්ට ප‍්‍රධාන ප‍්‍රශ්නයක් ලෙස තිබුණා වීවලට සහතික මිලක්. අනෙක වගා හානිවලට වන්දි නොලැබීමේ ගැටළුව. පසුගිය කාලයේ පළාත් සභා මැතිවරණයේදී ජනාධිපතිවරයා කුඹුරට බැහැලා ගොයම අතගාලා ගොවීන්ට කප්පරක් පොරොන්දු දුන්නා. නමුත් අයවැයෙන් ලැබුණු දෙයක් නැහැ. යල් කන්නයේ ගෙවිය යුතු ණය ලබන මහ කන්නය දක්වා කල්දමන බව කිව්වා. පොළිය අයකරගන්නේ නැහැ කිව්වා. නමුත් මේ අයවැයෙන් උකස් කළ භාණ්ඩ ගැන කිසිදු සඳහනක් කරලා නැහැ. නමුත් අපේ රටේ ගොවීන් විශාල වශයෙන් ණය ලබාගෙන තියෙන්නේ තමන් සතු භාණ්ඩ උකස් කරලා. එම භාණ්ඩ බේරාගැනීම සඳහා ගොවීන්ට දෙන සහන පිළිබඳ වෙන්කරන ලද ප‍්‍රතිපාදන පිළිබඳ කිසිදු සඳහනක් කරල නැහැ. අයවැය කතාවේදී කිව්වා නාඩු වී සඳහා රුපියල් 32ක්ද අනෙකුත් වී වර්ග සඳහා රුපියල් 35ක්ද ලබාදෙනවා කියලා. නමුත් එය නීතිගත කරලා නැහැ. ප‍්‍රකාශයක් පමණයි. ලබාදෙන්නත් පුළුවන්. නොදී ඉන්නත් පුළුවන්.
මහින්ද යාපා ඇමතිවරයා පසුගිය කාලයේදී කියා තිබුණා, වී කිලෝවක් සඳහා නිෂ්පාදන පිරිවැය රුපියල් 31ක් වෙනවා කියලා. එවිට ගොවියාට තිබෙන්නේ රුපියලක ලාභයක් පමණයි. ඒ වගේම ගොවියාට පොහොර සහනාධාරය ලබාදෙනවා කියලා අයවැයේ සඳහන් වුණා. යූරියා පොහොර මල්ලක් රුපියල් 350ට දෙනවා කියලා කිව්වට එහි නියම වටිනාකම රුපියල් 500ක් බවට ආණ්ඩුව පත්කරලා තිබෙනවා. එනම් යූරියා මල්ලක් ලබාගන්නා ගොවියා අනිවාර්යයෙන් රුපියල් 150ක් ආණ්ඩුවට ගෙවා අනිවාර්ය වගා රක්‍ෂණයක් ලබාගත යුතුයි. වගා රක්‍ෂණයේ මිල තීරණය වන්නේ ගොවියා ලබාගන්නා යූරියා පොහොර මලු ප‍්‍රමාණය අනුවයි. යූරියා පොහොර මලු 10ක් ලබාගන්නා ගොවියාට රුපියල් 1,500ක් ආණ්ඩුවට වෙනම ගෙවිය යුතු වෙනවා. එනිසා පොහොර සහනාධාරය ප්‍රෝඩාවක් බවට පත්වෙලා. ඇත්තටම මේ අයවැයේ තියෙන්නේ පී.බී. ජයසුන්දරගේ ආර්ථික ඇස්බැන්දුම් පමණයි. අයවැය පිළිබඳ විශ්ලේෂණයකින් තොරව කථාව පමණක් අසා සිටි මන්තී‍්‍රවරු පාර්ලිමේන්තුවේදී අත්පොඩි ගැහුවා. නමුත් අයවැය ගැන ඉතා හොඳ අධ්‍යයනයකින් බැලුවොත් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නැහැ.
මේ රටේ අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු දින 100ක අරගලයක් කළා, අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරන්න කියලා. නමුත් ආණ්ඩුව වෙන්කර තිබෙන්නේ ජාතික ආදායමෙන් 4.5%ක්. ජාතික ආදායම සහ දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ දෙකක්. ජාතික ආදායමට වඩා දළ දේශීය නිෂ්පාදිතය වැඩියි. එනිසා ආණ්ඩුව කළේ කුඩා අගයක් ගන්නා ජාතික ආදායම අනුව අධ්‍යාපනයට වෙන්කළ මුදල ගණනය කිරීමයි. හැම තැනම බොරු ඉලක්කම් පෙන්වලා ඇස් බැන්දුමක් කරපු අයවැයක්. මෙ අයවැය හරියට හිස් පීප්පයක් වගේ. තට්ටු කළාම සද්දෙ හොඳයි. නමුත් ඇරලා බැලූවාම ඇතුළේ මදයක් නැහැ.
අයි. එම්. එෆ්. වුවමනාවට අනුව ආර්ථිකයේ නව පියවරයන් ගණනාවක් තබලා තිබෙනවා. මූල්‍ය නීති ලිහිල් කරලා, කළු සල්ලි ජාවාරම් කාරයින්ට තමන්ට හිතුමතේ මුදල් පරිපාලනය කරන්න අවස්ථාව ලබාදීලා තිබෙනවා. එකක් තමයි පුද්ගලයන්ට සහ ආයතනවලට ඩොලර් මිලියන 10ක් දක්වා විනිමය පාලන දෙපාර්තමේන්තුවේ පාලනයකින් තොරව විදෙස් ණය ගන්න ඉඩ ලබාදීලා තිබෙනවා. එය බැංකුවලට ඩොලර් මිලියන 50ක් දක්වා ලබාදීලා තිබෙනවා. ලංකාවට විශාල ලෙස මුදල් ගලා එනවා විනිමය පාලනයකින් තොරව. කුඩු ජාවාරම් කාරයින්ට, මංකොල්ල කාරයින්ට මුදල් විශාල ලෙස රටට ගෙන ඒමට ඉඩ ලබාදීලා තිබෙනවා. දෙවැනි කරුණ තමයි, විදේශීයව මුදල් රැස්කරන අයට විනිමය පාලනයකින් තොරව විදේශ බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩ ලබාදීම. තුන්වැනි කරුණ විදේශීයව ඉතුරුම් කරන අය සඳහා ඩොලර් මිලියන 5ක් දක්වා මුදලක් තමන් කැමති ආකාරයේ ආයෝජනයක යෙදවීමට ඉඩ ලබාදී තිබෙනවා. ඒ සමඟ අවුරුදු 3ක බදු සහනයක් ඒ සඳහා ලබාදී තිබෙනවා. මේ අයවැයෙන් සහන දී තිබෙන්නේ කළු සල්ලිකාරයින්ට සහ ජාවාරම්කාරයින්ට පමණයි.
මෙම අයවැය ඇතුළේ රට හදන ප‍්‍රතිපත්ති ගැන, සංවර්ධනය ගැන, නව ආර්ථික වැඩපිළිවෙල් ගැන කිසිදු සඳහනක් කරලා නැහැ. ඒ වගේම තමයි, ආණ්ඩුව දුවන්නේ සම්පූර්ණයෙන් ලබාගන්නා ණය මතයි. 2013 ඇස්තමේන්තුගත ජාතික ආදායම රුපියල් කෝටි 130,400ක් වන විට ලබාගැනීමට සැලසුම් කොට තිබෙන ණය ප‍්‍රමාණය රුපියල් කෝටි 130,300ක් පමණ වෙනවා. ලබාගැනීමට සැලසුම් කර තිබෙන ණය ප‍්‍රමාණය රාජ්‍ය වියදමේ තරමටම සමානයි. යම් රටක් රාජ්‍ය වියදමේ ප‍්‍රමාණයට ණය ලබාගන්නවා නම් මොකක්ද ඒ රටේ ආර්ථික වර්ධනය? 1994 සිට මෙරට පාලනය කරන්නේ ශී‍්‍ර ල.නි.ප. ආණ්ඩුවක්. මහින්ද රාජපක්‍ෂ මහතාත් සැලකිය යුතු කාලයක් මේ රට පාලනය කළා.
ආණ්ඩුව කියනවා, මේ අයවැයෙන් ජනතාව මත බර පැටෙව්වේ නැහැ කියලා. නමුත් ආණ්ඩුව කළේ අයවැයට කලින් විශාල ලෙස භාණ්ඩ මත බදු පනවපු එක. ඒ නිසා අයවැයෙන් බදු පනවන්න ඉතිරි වුණේ නැහැ. එහෙත් මෝටර් රථ සඳහා ආදායම් බලපත‍්‍ර වලට 10% සිට 20%දක්වා බද්දක් අයකිරීමට ආණ්ඩුව යෝජනා කරනවා. ඒ අතරම රජ පවුලේ කුමාරවරු පාවිච්චි කරන රේසිං කාර්වලට බදු සහන ලබාදෙනවා. ඒ වගේම මේ මොහොතේ තව දෙයක් කිව යුතුයි. පසුගිය අයවැයේදී ලබාදුන් පොරොන්දු ඉටු කළාද කියලා හොයලා බලන්න ඕන. බොහෝ දෙනක්ට අමතක වෙන දෙයක් තමයි පසුගිය අයවැයේදී දුන් පොරොන්දු ඉටු කළාද කියන එක.
උදාහරණයක් විදියට ගියවර අයවැයෙන් පොරොන්දු වුණා, ති‍්‍රවිධ හමුදාවේ සියළු දෙනාට තුන්වැනි දරු උපත සඳහා රුපියල් ලක්‍ෂයක දීමනාවක් දෙන බව. නමුත් එම පොරොන්දුව ඉටු කළේ නැහැ. මෙවර අයවැයේ ඉටුකරන්න තරම් පොරොන්දුත් නැහැ. මුළු අයවැයෙන් 54%ක් රජ පවුලට වෙන්කරගත්ත ජනතා විරෝධී ජනතාවගේ ඇස් බැන්දූ කලු ජාවාරම්කාරයින්ට සහන ලබාදුන් මෙරට ආර්ථිකය විනාශ කරපු අයවැයක්. ඇත්තම ගත්තොත් හිස් පීප්පයක් වැනි අයවැයක් පමණයි. එනිසා මෙම අයවැයට ජනතා විමුක්ති පෙරමුණේ විරෝධය පළ කරනවා. මෙම අයවැය පරාජයට පත්කළ යුතුයි. එමෙන්ම ජනතාවගේ අයිතීන් වෙනුවෙන් උද්ඝෝෂණ, අරගල මාලාවක් දියත් කළයුතු වෙනවා. ජනතාවගේ අයිතීන් දිනාගත හැකි වන්නේ අරගලවලින් පමණයි. මේ ආණ්ඩුව කිසිවක් ජනතාවට නිකං ලබාදෙන්නේ නැහැ. ඒ සඳහා ජනතාවට කියනවා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා."

Gossip Lanka Hot News Previous News Archive