පේ‍්‍රමවන්තයා හොඳින් ඉන්නවා - Lochana Imashi

තමනුත් හිනාවෙලා වටේ ඉන්න අයත් හිනස්වලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි . ‘සිනාසී තරවෙන්න’ කියන කියමන ගැන ඇයට විශ්වාසයක් නෑ . ‘සිනාසී ලස්සන වෙන්න’ කියලා තමයි ලෝචනා කියන්නේ.

මේ දවස්වල කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල රවුමක් ගියොත් ටෙලා නාට්‍ය රූගත කිරීම් 10 ක්වත් දැක ගන්න පුළුවන් . විශේෂයෙන්ම පාර්ලිමේනතුව පැත්තේ . බණ්ඩාරගම , පිළියන්දල...

ලෝචනා මට හම්බවුණේ පාදුක්කෙදි .මේ දවස්වල රූගත කරන ‘සඳුපමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුරේ . දර්ශන තලයක් හොයාගෙන කට්ටියත් එක්ක ඇවිදිනවා . දර්ශන තලයක් හම්බවුණා . ඒ අතරේ ලෝචනාගේ වාරය එනකල් අපි ටිකක් කතා කළා .



ලෝචනා නිවේදන කටයුතුවලින් මුළුමනින්ම ඈත්වෙලාද?

මේ දවස් ටිකේ නම් එහෙම තමා . ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් සිදුකෙරෙනවා . වේදිකා නාට්‍යවල පුහුණුවීම්වලටත් සහභාගී වෙනවා . මම කැමති නිවේදන කලාවට . ඒත් ටෙලි නාට්‍යවලට දින වෙන් කර ගැනීමේදී ප‍්‍රශ්න එන නිසා තමයි මම නිව්දනයෙන් ටිකක් ඈත් වුණේ .

ඒ කියන්නේ ඔබ නිවේදනයට වඩා රංගනයට කැමතියි .

නෑ. දෙකටම එක වගේ කැමතියි . නිවේදනය තමයි මම මෙතෙන්ට එන්න හේතු වුණේ . අදටත් අපේ ගෙදර කට්ටිය කැමතියි මම නිවේදන කටයුතු කරගෙන ඉන්නවනම් . විශේෂයෙන්ම අපේ අම්මා. බලමු . මේ කලබල ගතිය අඩු වුණාම මම ආයෙත් නිවේදන කටයුතු කරනවා .

දීර්ඝ නාට්‍යවලට එක දිගට සහභාගී වුණාමත් කාර්යබහුල වෙනවා නේද?

ඔව් . මොනවා කරන්නද ? දීර්ඝ නාට්‍යවල ගුණාත්මක බව පිළිබඳව විවිධ කතා කියනවා . මම නම් මේවට සහභාගී වෙන්නේ මට හොඳ චරිතයක් ලැබුණොත් . ඒ චරිතය හොඳ නම් මට දෙයක් කරන්න පුළුවන් නම් මම ඒක භාර ගන්නවා . ගොඩක් රූගත කිරීම් කරන්නේ කොළඹ අවට . ඒක නිසා අපට පහසුයි .

දීර්ඝ නාට්‍ය ගැන ගොඩක් අය කතා කරන්නේ නුහුරට . මේ ගැන මොකද හිතෙන්නේ .

නුහුරට කතා කළාට ගොඩක් අය බලන්නේ ඒවා . නාට්‍යයේ ගුණාත්මක බව තියෙන්නේ දීර්ඝද නැද්ද කියන එක මත නෙවෙයි කියලා මම හිතන්නේ . තිරපිටපතයි අධ්‍යක්ෂකවරයයි අතේ තමයි වැඩි වගකීමක් තියෙන්නේ .

වේදිකාවෙත් ඔබට දස්කම් පෙන්වන්න පුළුවන් වුණා .

ඔව් . ඒ ගැන නම් මම මුලින්ම රම්‍යා වනිගසේකර මහත්මියට ස්තුති කරනවා . මොකද මාව විශ්වාස කරලා මට ප‍්‍රධාන චරිතයක් රඟ දක්වන්න අවස්ථාව ලබා දුන්න නිසා . වේදිකාවේ වැරදුනොත් ඉතින් ‘කට්’ කියලා නතර කරන්න බෑනේ . ඒ නිසා හොඳ පුහුණුවක් තියෙන්න ඕන .

වේදිකාව මට පාසලක් වගේ . දැන් මම වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් එක්වෙලා තියෙනවා .

ඔබ රඟපෑ ‘අභිනික්මන ’ චිත‍්‍රපටිය අපි තවම දැක්කේ නෑ .

ළඟදිම තිරගත වෙයි . තවම පෝළිමේ . හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ මේ චිත‍්‍රපටියේ මම ප‍්‍රධාන චරිතයක් කළේ .සිනමාව කියන්නේ ලෙකු විෂයයක් . දැවැන්ත තිරයකින් අපේ හැම ඉරියව්වක්ම පේනවා . හොඳ චිත‍්‍රපටියයක් ලැබුණා කියන්නේ දක්ෂ නළුවෙකුට හෝ නිළියෙකුට ගොඩ එන්න හොඳ අවස්ථාවක් .

ඔබේ පාසල් කාලය මතක් කළොත්

නුගේගොඩ අනුලා විද්‍යාලය . දැන් මාව කට්ටිය අඳුර ගත්තට ඒ කාලේ නම් මම දන්න කියන චරිතයක් නෙවෙයි . බෑන්ඞ් එකේ නම් හිටියා . උසස් පෙළ කරන කාලෙම නිවේදන කටයුතුවලට සහභාගී වෙන්න අවස්ථාව උදා වුණ නිසා උසස් පෙළ කරපු ගමන් සිරසට ආවා .

කැමති නම් දැන් ඔයාගේ වයස කියන්න .

තවම ඉන්නේ කට ඇරලා වයස කියන්න පුළුවන් වයසක . 24යි .

උසස් අධ්‍යාපන කටයුතු හදාරනවද ? නැත්නම් ඈත් වෙලාද ?

ඈත් වෙලා .ඒ කාලේ නම් හිතුවා අරක කරනවා මේක කරනවා කියලා . පාඩම් කරන්නේ කොහොමද මට තිරපිටපතක්වත් කියවන්න හිතෙන්නේ නැතුව.

ලෝචනා කටකාරයි කියන කතාව ඇත්තද?

ඒක දැනගන්න හොඳම කෙනා තමයි රවින්ද්‍ර විජේරත්ත මහත්මයා . මම දැනට ටෙලි නාට්‍ය 10ක විතර කරා නම් එයින් 8ක්ම කළේ එයාලත් එක්ක . මට කියන්නේ කටර් එක. ඉතුරු නම් ටික නම් කියන්න බෑ . කතා කරලා හිනාවෙලා හිනස්වලා ඉන්න එක හොඳයිනෙ ඉතින් අඩනවට වඩා .

ගෙදර අය මොකද කියන්නේ කටකාර දුවගේ රඟපෑම ගැන .

අපේ අම්මා එච්චර කැමති නෑ මම රඟපානවට . තාත්තයි ආච්චියි තමයි උදව් කරන්නේ . තාත්තා තමයි කාලයක් මගෙත් එක්ක රූගත කිරීම්වලට ආවේ . දැන් නම් ආච්චි එන්නේ .

අද ආච්චි නැද්ද ?

නෑ . මේ දවස්වල එයත් නෑ . ඒ වුණාට මේ සමපෝෂ හදලා දුන්නේ එයා . මට විටින් විට කන්න ඕන. රූගත කිරීම්වලදී කීයට කන්න ලැබෙයිද දන්නේ නෑනේ. ඉතින් සමපෝෂ , බිස්කට් එහෙම අරන් එන්නේ. ආවම ඉතින් මට නෑ. උඩ බලාගෙන ඉන්න තමයි තියෙන්නේ .

ඔයා ජෝතිෂ්‍ය ගැන විශ්වාස කරනවද ?

ඔව් . මොකද වෙලා තියන දේවල් සහ අහලා තියෙන දෙවල් එක්ක විශ්වාස කරන්න වෙලා තියෙන්නේ .

හදිසියේවත් රඟපාන්න බැරිවෙලා නිවේදනයටත් අවස්ථාවක් නැති වුණොත් මොකද කරන්නේ .

ඒකටත් දැන් බය වෙන්න දෙයක් නෑ. රවින්ද්‍ර විජේරත්ත මහත්මයා ඒකටත් අවස්ථාවක් ලබා දුන්නා. ලබන මාසේ ඉඳලා ලස්සන නාට්‍යක් විකාශනය වෙනවා . ඒකේ මම ත‍්‍රීවීලර් එළවන ගෑණු ළමයෙක් . දැන් ඒ දේත් කරන්න පුළුවන් නිසා කවදාහරි මොකුත්ම කරන්න බැරි වුණොත් ත‍්‍රීවීලර් එකක් එළවලා කීයක් හරි හොයා ගන්නවා .


පේ‍්‍රමවන්තයා කොහොමද?

හොඳින් ඉන්නවා . නම නම් අහන්න එපා . අපි දෙන්නම හිතාගෙන ඉන්නේ ඒක පස්සේ කියන්න .

කවද්ද කසාද බඳින්නේ .

ලබන අවුරුද්දේ විතර.

ශිරන්තනි මානවඩු





























Gossip Lanka Hot News Previous News Archive