Nearly 1000 children hospitalised,ගම්පොළ ජිනරාජ බාලිකාවන්ට ඇඟ කැසීම පළු දැමීම ක්ලාන්තය

ගම්පොළ ජිනරාජ බාලිකා මහ විද්‍යාලයේ ශිෂ්‍යාවන් දහසකට අධික පිරිසක් ඊයේ (14) උදෑසන පාසල ආරම්භවීමත් සමඟ ආසාත්මිකතාවකට ලක්වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා සඳහන් කරයි.

මේ පාසලේ ශිෂ්‍යාවන් 2425 ක් අධ්‍යාපනය ලබන අතර ඔවුන් උදෑසන පාසල ආරම්භ වී පංති තුළට යමින් සිටියදී මෙසේ රෝගී වීමට පටන් ගෙන ඇත. මේ තත්ත්වය මත ඊයේ සිට දින 3ක් පාසල වසා දැමීමට ද පියවර ගැනිණි.


පාසල් ශිෂ්‍යාවන්ගේ ඇඟ කැසීම, පළු දැමීම හා ක්ලාන්ත වීම රෝගී ලක්‍ෂණ වූ අතර ඔවුන් ගෙන් සමහරකට හුස්ම ගැනීමේ අපහසුවද පැවතී ඇත.

රෝගී තත්ත්වයන් වැඩිවීමත් සමඟ සියලුම ළමයින් පාසලෙන් බැහැරව රැගෙන ගොස් වීගුලවත්ත ක්‍රීඩාංගණයේ රඳවා රෝගී වන ළමයින් රෝහල් ගත කිරීමට කටයුතු යොදා තිබුණි.

පාසල් ළමයින් රෝගී වූ ආරංචිය දැනගත් මාපියන් ඥාතීන් දහසක් පමණ රෝහලට හා පාසලට පැමිණීම නිසා විශාල තදබදයක් ද ඇති වූ අතර, ගම්පොළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චූලනී වීරරත්න, ස.පො.අ. නිමල් ධර්මපි‍්‍රය හා පොලිස් ස්ථානාධිපති චන්ද්‍රා ජයවීර යන මහතුන් මැදිහත් වී පොලිස් නිලධාරීන් යොදවා තත්ත්වය පාලනය කිරීමට කටයුතු යොදන ලදී.

ඊයේ දහවල් වන තුරුත් රෝගී වන ළමුන් රෝහල වෙත ඇතුළත් කළ අතර නේවාසිකව ශිෂ්‍යාවන් 200 ක් පමණ ද බාහිර අංශයෙන් ශිෂ්‍යාවන් 900 ක් පමණ ද ප්‍රතිකාර ලබා දීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා ඇතුළු වෛද්‍ය මණ්ඩලය හා කාර්ය මණ්ඩලය කටයුතු යොදා තිබුණි.

මෙලෙස හදිසි ප්‍රතිකාර සඳහා පේරාදෙණිය වෛද්‍ය පීඨ සිසුන් ද යොදා ගත් අතර අවශ්‍ය ඖෂධ ලබා දීමට රෝහල් අධ්‍යක්‍ෂවරයා පියවර ගෙන තිබුනි.

මෙම ළමුන් රෝගීවීම පසුගිය සිකුරාදා (09) සිට ආරම්භ වී ඇති බවත් එහිදී ළමුන් 7 දෙනෙකු රෝගී වී ගම්පොළ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බවත් මාපියන් සඳහන් කරති.

මේ ශිෂ්‍යාවන් රෝගී වීමට හේතුව ලෙස පරිසරයේ ඇති රසායන ද්‍රව්‍යයක් විෂ වීම හෝ මැක්කන් වැනි සත්ව ආසාදනයක් විය හැකි බව සෞඛ්‍ය අංශ හා වෛද්‍ය නිලධාරීන් සැක කරයි.

Gossip Lanka Hot News Previous News Archive