ශ‍්‍රී ලංකා - නවසීලන්ත ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා මත්පැන් නිෂ්පාදන සමාගමක්- Royal Stag Main Sponsor of Sri lanka vs New zealand Series

මේ දිනවල පැවැත්වෙන ශ‍්‍රී ලංකා - නවසීලන්ත ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා වශයෙන් මත්පැන් නිෂ්පාදන සමාගමක් එක්කර ගැනීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරති.
'නෙත්' ගුවන් විදුලිය කල විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ,  දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වගකීම් පැහැර හරිමින් සිටින බව ද සදහන් කළේය.
විවිධ උපක‍්‍රම ඔස්සේ මෙරට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ප‍්‍රචාරයන් පිළිබඳ එම අධිකාරිය නිසි අවධානයක් යොමු කර නොමැති බව උන්වහන්සේ පැහැදිලි කළේය.

පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ, නීතියේ හිඩැස් තුළින් වාසි අත්කර ගැනීමට උත්සහ දරන මෙවැනි සමාගම් පිළිබඳ  දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.
 මෙම කරුණ පිළිබඳ දැන් හෝ අවධානය යොමු කරන ලෙස ද පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් එම අධිකාරියෙන් ඉල්ලා සිටියේය.
ශ‍්‍රී ලංකා - නවසීලන්ත ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රහකයා වන්නේ මත්පැන් නිෂ්පාදනය ප‍්‍රධාන ආදායම් මාර්ගය වන රෝයල් ස්ටැග් නමැති සමාගමක් බව 'නෙත් නිවුස්' ඉකුත් 08 වනදා දහවල් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් පෙන්වා දුන්නේය.
ක‍්‍රීඩා උපකරණ නිෂ්පාදනය ද එම සමාගමේ තවත් ව්‍යාපාරයක් වේ.
ඔවුන් ශ‍්‍රී ලංකා නවසීලන්ත තරගාවලියට අනුග‍්‍රාහකත්වය දක්වන්නේ ක‍්‍රීඩා උපකරණ සමාගමක් ලෙසටය.
කෙසේවෙතත් තරගාවලිය තුළ සිදුකෙරෙන ප‍්‍රචාරන කටයුතු සඳහා ඔවුන් උපයෝගී කරගෙන ඇත්තේ සමාගම නිෂ්පාදනය කරන විස්කි බෝතල්වල ලාංඡනය බව 'නෙත් නිවුස්' මඟින් පෙන්වා දුන්නේය.

 රෝයල් ස්ටැග් සමාගමේ දැන්වීමක් නිරුපනය කරන ඉන්දීය ක්‍රීඩකයෙක් 



Gossip Lanka Hot News Previous News Archive