ගාලුපාරේ රථවාහන ධාවනයට බාධා
ගාල්ල,කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත, දළුවතමුල්ල මහා මාර්ගයේ දී අද (09) පෙරවරු 8 ට පමණ කන්ටේනරයක් පාර මාරු වෙමින් සිටි ව්‍යාපාරිකයකු වන ලද්දු ශ්‍රියානන්ද සිල්වා නැමැති ව්‍යාපාරිකයාගේ සිරුර මතට පෙරළී ඔහු එතැනම මරුමුවට පත් වී ඇත. මේ වනවිට එම මාර්ගයේ දැවැන්ත වාහන තදබදයක් පවතී. කොළඹ සිට ගමන් කරන සියලු වාහන කහව හන්දියෙන්ද , ගාල්ල දෙසින් කොළඹට එන රථ වාහන හික්කඩුවෙන්ද අතුරු මාර්ගවලට යොමු කරනු ලැබේ. අද උදේ මෙම කන්ටේනරය මෝටර් රථ වාහන උපකරණ තොගයක් පටවා ගෙන කොළඹ සිට ගාල්ල දෙසට ගමන් කර තිබේ.
දළුවත්තමුල්ල ප්‍රදේශයේ බත් කඩයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකු වන ශ්‍රියානන්ද සිල්වා මහතා කිසියම් අවශ්‍යතාවක් සඳහා මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි වෙළෙඳසල දෙසට පාර මාරු වෙමින් සිට ඇත.
මෙම අවස්ථාවේ පැමිණි කන්ටේනරය පැදවූ රියදුරා පාර මාරුවන පුද්ගලයා බේරා ගන්න වාහනය පැත්තකට කපා ඇත. එම අවස්ථාවේ එක්වරම මෙම කන්ටේනරය පෙරළී ව්‍යාපාරිකයාගේ සිරුර මතට වැටී ඇත. වෙළෙඳසලේ සිටි තවත් කාන්තාවන් තිදෙනෙක් ද මෙම අනතුරින් බරපතල තුවාල ලබා ඇති අතර රියදුරාගේ කකුලක් කැඩී ඇත. තුවාලකරුවන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබේ. මේ වනවිට කන්ටේනරය ඔසවා ඊට යට වී සිටින ව්‍යාපාරිකයාගේ සිරුර එළියට ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. මීටියාගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.