UNP නායකයාට පාක්ෂිකයෝ පොල් ගසති

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගිවීමට පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවස්ථාව ලබා නොදීම ගැන දෙවිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පෙරේදා (20 දා) සවස දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය ඉදිරිපිටදී පොල් ගසා දේව කන්නලව්වක යෙදුණාහ.

මෙවර සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය තවත් වසර හයකට දීර්ඝ කර ගැනීමට දරන උත්සාහය පරාජය කිරීමට පක්ෂ සම්මේලනය නියෝජනය කරන සියලු දෙනාට නුවණ පහළ වේවා යැයි පක්ෂ ක්‍රියාකාරීහු විෂ්ණු දෙවියන්ට කන්නලව්වක්ද කළහ.

මේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ එ.ජා.ප. හිටපු පර්ෂද සංවිධායක එච්.ඒ. ෂෙල්ටන් මහතා මෙසේ පැවැසීය.

"අද එක්සත් ජාතික පක්ෂයේ අපට පක්ෂය එපාවෙන තරමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂය පත් කරලා ඉවරයි. එතුමා ඉන්නකන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට සුගතියක් වෙන්නෙ නැහැ. අතීත නායකයො තමන්ගේ ජීවිතවලින් පවා කැපකිරීම් කරලා දහසකුත් බාධක කම්කටොලුවලට මුහුණ දීලා ආරක්ෂා කරපු එදා අපි දේවත්වයෙන් සලකපු අපේ පක්ෂය අපිට එපා කරන්නේ මේ පක්ෂයේ නායකයායි.

ඒ නායකයා තවත් අවුරුදු හයක් මේ පක්ෂයේ නායකයා වෙනව කියන්නේ ඉදිරියේදී එක්සත් ජාතික පාක්ෂිකයෙක් බෙහෙතකටවත් හොයා ගන්න බැරි වෙයි. අපි දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට ඉඳන් පොල් ගහලා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවර එක්සත් ජාතික පක්ෂ සම්මේලනය නියෝජනය කරන සියලු දෙනාටම මේ නායකයා එළවලා දමලා එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපේම කියලා ආණ්ඩුවක් ගන්න පුළුවන් නායකයෙක් පත්කර ගන්න නුවණ පහළ වේවායි කියලා.
දෙවිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයකු වූ අමරසේන විතාරණ මහතා මෙසේ කීවේය.

"එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සම්මේලනයට අපි තරුණ කාලෙ ඉඳන්ම සහභාගි වුණා. එහෙත් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඒ අවස්ථාව මෙවර අපිට අහිමි කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෝලිම් බූත්වල ඉන්න මැතිවරණ කාලෙදි ගෙන් ගෙට ගිහින් පක්ෂයට ඡන්ද එකතු කරන, ගම් මට්ටමින් රැස්වීම් තියන බිම් මට්ටමේ අපිට පක්ෂ නායකයා සලකන්නෙ මෙහෙමද කියලා අපි එතුමාගෙන් අහනවා.

මෙවර සම්මේලනයේදීත් එතුමා තමන්ගේ නායකකම තවදුරටත් දීර්ඝ කරගන්න සූදානමින් ඉන්නවා කියන්නේ තවත් අවුරුදු හයක් පාක්ෂිකයන්ට බුදුන්ගෙම සරණයි.
ඒ නිසා අපි කියනවා අපිට පක්ෂ සම්මේලනය නියෝජනය කරන්නට අවස්ථාව අහිමි වුණත් සම්මේලනයට යන සියලු දෙනා මේ අවාසනාවන්ත කාලකන්නි නායකත්වයට විරුද්ධව එකා වගේ නැඟී සිටිය යුතුයි. මොකද අපි මැරුණත් අපේ දරු මුනුබුරන්ට හරි ඒකෙන් සුගතියක් වෙයි.

Gossip Lanka Hot News Previous News Archive