පබාවතී අඹන්න මට තවම රත්තරන් මදි, Upul Shantha Sannasgala

      * නේත්‍රාගෙන් පටන්ගෙන, ආදරේ තරම්, යසෝදරා හා වර්තමානයේ අපට නිමිති වන පිරිමි ගොඩයි කෘතීන් ඔබේ අනෙකුත් නවකතාවන්ට වඩා වෙනස් ධාරාවක් නියෝජනය කරන බව පිළිගන්නවාද?
ඔව්. වෙනසක් තියෙනවා. ඒකට හේතුව සමන් වික්‍රමාරච්චි නම් විචාරකයා පැහැදිලි කළා. ඔහු කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක හා සුමිත්‍රා රාහුබද්ධ දෙදෙනා විචාරකයින් කියන දේවල් අහන්නෙ නැතිව පාඨකයන් උදෙසා ලියන බවයි. එහෙත් සන්නස්ගල මෑතක සිට පාඨකයා උදෙසා ලිවීම වෙනුවට විචාරකයන් සඳහා ලියන බව ඔහු කියනවා. වෙනත් ආකාරයකින් ඔබ අහන්නේත් ඔහු කියන දෙයමයි. මම එය පිළිගන්නවා. ඒක ඇත්තක්.



* ජනප්‍රිය ධාරාවේ ලේඛකයෙක්ට පාඨකයන් හෝ වෙළෙඳ පොළ අමත කර ලියන්න පුළුවන්ද?
ඒ ගැනත් සමන් වික්‍රමාරච්චි ඔහුගේ “සින්ඩ­‍ෙරල්ලා සහ සපත්තුව“ නම් තීරු ලිපියේ සඳහන් කළා. ඔහු කියන්නේ සුමිත්‍රා හා සුනේත්‍රා කුමන හේතුවක් නිසාවත් තමන්ගේ පාඨක ධාරාව වෙනස් කර ගන්නේ නැති බවයි. මේ වන විට ඔවුන්ගේ පොත් විශාල වශයෙන් අලෙවි වීමට හේතුවක් ලෙස ඔහු එය දක්වනවා. ඇතැම් විට මම කරන මේ වෙනස පාඨකයන්ට බලපාන්න ඉඩ තියෙනවා. නමුත් මම ඒ අභියෝගය භාර ගන්න සූදානම්.
* ඔබේ නවකතාවල දකින්න ලැබෙන ස්ත්‍රීවාදී දවටනය ව්‍යාජයක්ය කියන අදහස ගැන කියන්න තිබෙන්නේ කුමක්ද?
කෘතිය විචාරය කිරීම හා ලේඛකයා විචාරය කිරීම මම හිතන්නේ එකක් නෙවෙයි, දෙකක්. නවකතාවක් සම්බන්ධව හෝ වෙනයම් කලා කෘතියක් සම්බන්ධව නිර්මාණකරුවා විචාරයට සම්බන්ධවීම සදාචාරවාදී නැහැ.
* කෘතිය අතහැර ලේඛකයා ස්ත්‍රීවාදි ද නැද්ද කියලා ඇහුවොත්?
ඒකට උත්තර දෙන්න පුළුවන්. මම ස්ත්‍රීවාදියෙක් නෙවෙයි. මගේ නිර්මාණවල ස්ත්‍රීවාදී අදහස්, බෞද්ධ අදහස් තිබෙන්න පුළුවන්.
* ඔබව මොන වාදයකටවත් කොටු කරන්න බැරිද? පශ්චාත් නූතනවාදී අදහස් ඔබේ නිර්මාණවලට එන්නේ කොහොමද?
මම මාක්ස්වාදය අතපත ගාලා තිබෙනවා. ස්ත්‍රීවාදය හෝ නුතන පශ්චාත්වාදය හදාරා නැහැ. හැබැයි නිර්මාණකරුවෙක් හැටියට මට සංජානනය වන දෙයක් තිබෙනවා. එසේ සංජානනය වන දේ මගේ පරිකල්පනිය අවාකශයට අදාළව ප්‍රතිනිර්මාණය විය හැකියි. එය ස්ත්‍රීවාදය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නුතන පශ්චාත්වාදය වෙන්න පුළුවන්.
* පසුගිය වසරේදී ඔබ අප සමඟ කිව්වා ඔබේ හොඳම නවකතාව ඉදිරියේදී ලියනවා කියා. මේ ඔබ කිව්ව පොතද?
නැහැ. භාෂාව නමැති මැටි පිඩ යොදා ගෙන මම එක එක විදිහෙ රූප අඹනවා. තමන් අඹපු හොඳ ම රූපය මේකයි කියලා කුසට කියන්න පුළුවන් වුණාට, මට එහෙම කියන්න බැහැ. මම තවම “පබාවතී” අඹන්න රත්තරන් හොයනවා. ඒ නිසා මේ මගේ හොඳ ම නිර්මාණය නෙවෙයි.
* “පිරිමි ගොඩයි” ගැන කතා කළොත් එහි පළමු පරිච්ඡේද පහ භාෂා අලංකාර හැරුණු විට නවකතාවේ ගලා යාමට කිසිදු සේවයක් නොකරන බව මගේ අදහසයි...?
එය නවකතාව ගැන ඔබේ කියවීම. නවකතාවේ පළමු පරිච්ඡේදවල තිබෙන්නේ ‘චුට්ටි’ නමැති චරිතය මුහුණ දෙන සිදුවීම් මාලාවක්. භාෂා හරඹ යොදා නොගෙන එය ලිව්වා නම් දිනපතා පුවත්පතක වාර්තාවකට අමතර දෙයක් ප්‍රතිනිර්මාණය කර ගන්න බැහැ. අමුවෙන් ලිව්වා නම් මම එය අනුමත කළා වෙනවා.
* එතකොට එකම සිදුවීම නැවත නැවත ලිවීම සිදු වූයේ පුවත්පත සඳහා රචනා කළ නවකතාව සංස්කරණයකින් තොරව පළ කිරීම නිසාද?
පුවත්පතට ලිව්ව නවකතාව පොතකට ගෙනෙන කොට විශාල වශයෙන් සංස්කරණය කළා. පැරුණි ගද්‍ය සාහිත්‍යයේ එන භාෂා ශෛලිය සමඟ නූතන ප්‍රස්ථා පිරුළු විශාල ප්‍රමාණයක් අත්දැකීම ප්‍රතිනිර්මාණය කිරීමේදී යොදා ගත්තා. නැවත නැවත ලිවීම නිසා සිදුවීම්වල අශ්ලීල බව හා ජුගුප්සාජනක සාන්ද්‍රණය අඩුව තිබෙනවා. මා කිව්වේ මා කළ දේයි. එය හරිද වැරුදිද තීරණය කළ යුත්තේ විචාරකයන්.
* සම්මාන සඳහා ලියන ලේඛකයන් අතර ඔබ ඉන්නවද?
මට මේ වනතෙක් ඔය මොන පුස්තකයක්වත් ලැබිලා නැහැ. ශ්‍රී ලංකාවේ විචාරකයොත් නිදන් හංගන බහිරවයෝ වගෙයි. ඔවුන් එයින් වැඩක් ගන්නෙත් නැහැ, වැඩක් ගන්න කාටවත් දෙන්නෙත් නැහැ. වටිනා දේවල් පස්යට හංගන ශාස්ත්‍රයක් ලෝකෙ වෙන කොහේවත් නැහැ. ග්‍රාමීය සමාජයේ දෙමව්පියෝ දරුවන්ට ඉඩම් ලියන්නෙත් මැරෙන මොහොතෙනේ. ඇතැම් අයට සම්මානයක් නොලැබීමත් සම්මානයක්. මා ලියූ නිර්මාණ ගැන කතිකාවක් ඇතිව තිබෙන්නෙ සම්මාන නොලැබීම නිසයි. සම්මාන ලැබුණා නම් විචාරකයෝ මේ වන විට මගේ ගෙල සිඳලා ඉවරයි. එහෙම නැත්නම් මමම හිසරදයක් හදාගෙන.
* ඒ කියන්නේ ඔබ සම්මාන ප්‍රතික්ෂේප කරනවාද?
ඒකට දැම්මම උත්තරයක් දෙන එක හොඳයි. ලැබුණොත් අත් දෙකෙන්ම භාර ගන්නවා. ඒකට හේතුව සම්මාන නිසා පොත්වල අලෙවිය වැඩිවීමයි.
* වෙළෙඳ පොළ වටිනාකම සලකා ඔබ සම්මාන භාර ගැනීමට සූදානම් නම්, ලිවීමේදී එය නොතකා කටයුතු කරන්නේ කොහොමද?
මම වෙළෙඳ පොළට ලියන්නේ නැහැ. නමුත් මම ලියන දෙයට වෙළෙඳ පොළක් තිබෙනවා.

උපුටගැනීම - Dinamina

Gossip Lanka Hot News Previous News Archive