සැන්ඩි, නීලම් සහ සොන්ටින් සුළි කුණාටු හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට බරපතළ හානි /world disasters as a result of Storm Neelam, Sandy & sounty

සැන්ඩි, නීලම් සහ සොන්ටින් සුළි කුණාටු තත්ත්වයන් හේතුවෙන් ලෝකයේ රටවල් රැසකට බරපතළ හානි සිදුව තිබේ.
පුද්ගලයින් 40 දෙනකු මරණයට පත්කරමින් සහ තවත් පුද්ගලයන් ලක්ෂ ගණනක් විපතට පත් කරමින් අමෙරිකා එක්සත් ජනපදයට බලපෑ සැන්ඩි සුළි කුණාටු තත්ත්වය මේ වනවිට කැනඩාව දෙසට ගමන් කරමින් තිබේ.
අග්නිදිග ආසියාවට ඇතුළු වූ සොන්ටින් සුළි කුණාටුව මේ වනවිට වියට්නාමය හරහා චීනය දෙසට ගමන්කොට එරට පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වෙයි.
ඊට අමතරව ඉන්දියාවේ තමිල්නාඩුවට පැමිණි නීලම් සුළි කුණාටුව මේ වනවිට අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය වෙත ගමන් කරමින් තිබේ.

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 13805 ක පුද්ගලයන් 52748 දෙනකු ආපදාවට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
‍අධික වර්ෂාව සහ තද සුළං තත්ත්වයේ බලපෑමෙන් පූර්ණ හානියට ලක්වූ නිවාස 70 ක් ද අර්ධ හානියට පත් නිවාස 1043 ක් ද වාර්තා වී ඇති අතර රැඳවුම් කඳවුරුවල පවුල් 1219 ක පුද්ගලයන් 4683ක් තාවකාලිකව නවාතැන් ගෙන ඇති බවත් එම මධ්‍යස්ථානය කියයි.
මාතර දිස්ත්‍රික්කයේ මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තද සුළඟ හේතුවෙන් එක් පුද්ගලයකුද යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ ගංවතුරින් තවත් පුද්ගලයකුද මියගොස් ඇති අතර යාපනය කෝපායි ප්‍රදේශයේ ගංවතුරට හසුව තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.
ගංවතුර හේතුවෙන් වැඩිම පවුල් හා පුද්ගලයන් සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේය. ඒ පවුල් 5583 ක් හා පුද්ගලයන් 19785ක් වශයෙනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පවුල් 1101 ක් හා පුද්ගලයින් 4626ක් ද නුවරඑළිය, කිලිනච්චිය, ගම්පහ, මන්නාරම, නුවර, කෑගල්ල, කොළඔ, මාතර හා යාපනය යන දිස්ත්‍රිකවල පුද්ගලයන් ‍ආපදාවට ලක්ව ඇත.
එම ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරු ආපදාවට ලක් වූ පුද්ගලයන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටිති.

Gossip Lanka Hot News Previous News Archive