ලෝකයේ වැඩිම වයස ඇති ගැහැනිය World's Oldest Women 113 years old

ඇය ලෝකයේ වියපත්ම තැනැත්තියයි. වයස අවුරුදු 113 යි. ඇය වාමන ගැහැනියක්‌ හෙවත් ඉතා කුඩා ශරීරයක්‌ ඇති ගැහැනියක්‌. ඉන්දියාවේ භූපාල් ප්‍රදේශයේ ජීවත් වන ඇගේ නම සීනත් බී. ඉන්දියන් ආණ්‌ඩුවේ විශ්‍රාම වැටුප්

වාර්තාවලට අනුව ඇගේ වයස අවුරුදු 101 යි. එහෙත් ඇය තරයේම කියන්නේ තමාගේ වයස අවුරුදු 113 ක්‌ බවයි.

ගිනස්‌ ලෝක වාර්තා පොතට අනුව ලොව වියපත්ව වාමන මනුෂ්‍යයා වන්නේ ලොවෙල් ඩෙෆොරස්‌ට්‌ මේසන් (Lowell De forest Mason). ඔහුගේ වයස අවුරුදු 74 කි.

සීනත් බී ඉස්‌ලාම් ආගම අදහන කාන්තාවක වන අතර ශුද්ධ වූ මක්‌කමට වන්දනා ගමනක යෙදීම සහ සල්මාන් ඛාන් මුණගැසීම ඇගේ සිහින පෝලිමේ අංග වෙති.

ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් විසින් පාලනය කළ ආකාරය ඇයට ඉතා හොඳින් මතකය. ඒ අතර මහාරාජාවරුන් සහ ඉන්දියන් කුමාරවරුන් (නවාබ්වරුන්) විසින් ප්‍රාදේශීය මට්‌ටමෙන් බලවත්ව සිටි ආකාරය ගැනත් ඇය සිහිපත් කරනවා.

සීනත් බී තම වයස ගැන පවසන්නේ සත්‍යයක්‌ නම්, ඇය ඉපතදී ඇත්තේ වික්‌ටෝරියා මහ රැජන ඉන්දියානු අධිරාජිනිය ලෙස කටයුතු කළ කාලයේදී. "මගේ ළමා කාලයේදී භූපාල් නගරය කියන්නේ විශාල වනාන්තරයක්‌. ඇහැට පෙනෙන මානයේ හැම තැනකම තිබුණේ ගහකොළ විතරයි......." ඇය සඳහන් කරනවා.

"බ්‍රිතාන්‍ය ජාතිකයන් භූපාල් නගරයට පාන් හඳුන්වා දුන් කාලයත් මට මතකයි. එය ඉන්දියානුවන් විසින් කිසි කලෙකත් අනුභව කර නොතිබූ ආහාරයක්‌...."


ඇගේ පවුලේ සියලුම දෙනා මිය ගිහින්. දැනට ඉතිරිව සිටින්නේ ඇය විතරයි. අවිවාහක ඇගේ දෑස්‌ සුද මතුවීම නිසා හානියට පත්වෙලා. කැල්සියම් ඌනතාවකුත් ඇයට තිබෙනවා. ඇය ජීවත් වන්නේ රජය මගින් ගෙවන ඉන්දියන් රුපියල් 275 ක විශ්‍රාම වැටුපකින්. මිහිපිට ඇය සතු එකම වස්‌තුව ඇඳ කබලක්‌ පමණයි. කලකට පෙර භූපාල් නගරය අයත් ප්‍රාන්තයේ මහ ඇමැතිවරියව සිටි උමා භාරතී ඇයට ඉන්දියන් රුපියල් 2,500 ක දීමනාවක්‌ ලබා දුන්නා. එයත් දැන් නැවතිලා.

ඉතාම පුදුමසහගත කාරණය වන්නේ වයස අවුරුදු 113 දිත් ඇගේ කෙස්‌ කළු පැහැයෙන් යුක්‌ත වීමයි. එහෙත් ඇගේ මුළු කටටම තිබෙන්නේ දත් 3 ක්‌ පමණයි.

සීනත් බී ව බලාකියා ගන්නේ අක්‌බාර් මොහොමඩ් ඛාන් සහ ඔහුගේ පවුලේ අයයි. ඔහු කිසිදු කුලියක්‌ නොගෙනම ඇයට තම නිවසේ ජීවත්වීමට ඉඩ දී තිබෙනවා. ඇයට ආහාර නැතත් හුනු, දුම්කොළ, පුවක්‌ සහිත සැර බුලත් විටක්‌ අවශ්‍යමයි. අවිවාහක මෙනවියක්‌ වන ඇය විවාහ නොවීම ගැන කවදාවත් කනගාටු වන්නේ නැහැ. (The Mail Online)

සංඛනාද වෙදගේවත්ත








Gossip Lanka Hot News Previous News Archive