ලෝකයේ වත්කම්වලින් කාන්තා අයිතිය 1% කි !

ඇමෙරිකානු සංඛ්‍යාන බියුරෝවට අනුව 2100 දී ලෝක ජනගහනය බිලියන 16 ක්‌ වේ. ඒ බිලියන 16 ට මේ ලියන මාත් කියවන ඔබත් එක්‌නොවනු ඇත. කෙසේ නමුත් යම් විපත් සිදුවුවහොත් ලෝක ජනගහනය බිලියන හයකට අඩුවිය හැකි බවද ඇමරිකානු බියුරෝව අනුමාන කරයි. වර්තමානයේ මේ පෘථිවි තලය තුළ ජීවත්වන මිනිසුන් ප්‍රමාණය බිලියන 7.056 කි. ලෝකයේ වැඩියෙන්ම ජනගහනය වෙසෙන රටවල් දහය අනුපිළිවෙළින් මෙසේය. චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඉන්දුනීසියාව, බ්‍රසීලය, පාකිස්‌ථානය, බංග්ලාදේශය නයිජීරියාව, රුසියාව හා ජපානයයි.

2011 දී සකස්‌ කළ අනුමාන දත්ත අනුව ලෝකයේ වාසය කරන පුරුෂයන් ප්‍රමාණය 3,487,869,561 ක්‌ වන අතර ස්‌ත්‍රීන් ප්‍රමාණය 3,439,427,037 ක්‌ වේ. ඒ අනුව ලෝකයේ වෙසෙන පුරුෂයන් ප්‍රමාණය කාන්තා ජනගහනයට වඩා වැඩිය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නම් පුරුෂ ජනගහනයට වඩා ස්‌ත්‍රී ජනගහනය වැඩිය.


ලෝකයේ අවසන් යටත් විජිතය වන්නේ කාන්තාවන් බව කාන්තා අයිතීන් වෙනුවෙන් සටන් කරන කමලා බාෂින් කියයි. විශේෂයෙන්ම ඇය මේ කතාව ප්‍රකාශ කරන්නේ ඉන්දීය කාන්තාවන්ගේ තත්ත්වය දෙස බලමින්ය. ලෝකයේ පළමු ස්‌ත්‍රීවාදී සම්මේලනය පැවැත්වූයේ 1971 ටොරොන්ටෝ නුවරදීය. එහිදී ප්‍රකාශ වූයේ කාන්තාවට නිදහස ලබා ගැනීම සඳහා නොනවතින අරගලයක්‌ කළ යුතු බවයි. හින්දු පුවත්පතකට ලිපියක්‌ ලියන හාර්ෂ් මන්දෙර් සටහන් කරන්නේ 2013 වැලන්ටයින් දිනයේදී ලොවපුරා බිලියනයක්‌ දෙනා එක්‌වී ස්‌ත්‍රීන්ටද සම අයිතිය ලබා දෙන ලෙස උද්ඝෝෂණය කරනු ඇති බවයි. ඇත්තෙන්ම ලෝක ජනගහනයෙන් භාගයක්‌ කාන්තාවන් හා ගැහැනු ළමුන්ය. සෑම ගැහැනු තුන් දෙනකුගෙන් එක්‌ අයෙක්‌ නිවසේදී, සේවා ස්‌ථානයේදී, මහපාරේදී හෝ මහජනයා ගැවසෙන ස්‌ථානයේදී ප්‍රචණ්‌ඩත්වයට මුහුණ දෙන බව සොයාගෙන තිබේ. ඒ අනුව ලෝකයේ බිලියනයක්‌ කාන්තා වන් හා ගැහැනු දරුවෝ අතවරයට හෝ ප්‍රචණ්‌ඩත්වයට මුහුණ දෙති. ලබන පෙබරවාරි 14 වැනිදා බිලියනයක්‌ දෙනා එක්‌ව නැගී සිටින්නේද මේ ප්‍රචණ්‌ඩත්වයට එරෙහිවය. ලෝකය ජාතිය, ආගම්, කුල යනුවෙන් බෙදී ඇතත් වඩාත්ම පීඩනයට පත්වන්නේ කාන්තාවන් බව හින්දු පුවත්පතේ හාර්ෂ් මන්දෙර් සටහන් කරයි.

ලෝකයේ කාන්තාවන් කරන මෙහෙය මෙතෙක්‌ නිසිලෙස ඇගයීමට ලක්‌ව නැත. විශේෂයෙන්ම ලොව පුරා ගෘහණියන් තම පවුල වෙනුවෙන් කරන මෙහෙයට ගෙවිය යුතු මිල වසරකට ඩොලර් ටි්‍රලියන 11 ක්‌ බව ගණන් බලා ඇත. මෙය කිසිදිනක නොගෙවන පඩියකි. ලෝක කම්කරු සංවිධානය පවසන පරිදි ලෝකයේ සිදු කරන කාර්යයන් හෝ මෙහෙයන් ගෙන් 66% ක්‌ සිදු කරන්නේ කාන්තාවන් විසිනි. නමුත් ලෝක ආදායමෙන් කාන්තාවන්ට ලැබෙන්නේ 10% ක ප්‍රමාණයකි. එමෙන්ම ලෝකය සතු වත්කම් ප්‍රමාණයෙන් කාන්තාවන් සතු වන්නේ සියයට එකක්‌ පමණි. මෙය කනගාටුදායක තත්ත්වයකි.

කමලා බාෂින් පවසන්නේ සෑම ඉන්දියානු භාෂාවකම ස්‌වාමි පුරුෂයා අමතන පදයේ අර්ථය වන්නේ ස්‌වාමිදරුවා, ප්‍රධානියා යන අර්ථය මිස සහකරුවා යන අර්ථය නොවන බවයි. ඉන්දියානු කාන්තාවන්ගෙන් 40% ක්‌ සිය ස්‌වාමිපුරුෂයාගෙන් පහරකයි. මිලියන 35 ක්‌ ස්‌ත්‍රී කළල විනාශ කර දමයි. එය දිල්ලියේ වෙසෙන ප්‍රභූ පවුල්වලත් සිදුවන බව කමලා කියයි. කමලා බාෂින්ට අනුව ලොව ඇති ප්‍රධානතම ප්‍රශ්නය ත්‍රස්‌තවාදය, ස්‌වාභාවික විපත් නොව ස්‌ත්‍රීන්ට සම තැන නොලැබීමයි. මේ ගැන පුරුෂයන් කියන්නේ කුමක්‌ද? මම නිහඬවෙමි.


Gossip Lanka Hot News Previous News Archive