Ridee Reyak 10 වැනි ප්‍රසංගය මෙම 22 දා නෙළුම් පොකුණ රඟහලේදී The 10th delightful concert of 'Ridee Reyak'

රිදී රැයක්‌ සාර්ථක වුණේ අරමුණ පිවිතුරු වූ නිසයි - ජයන්ත ධර්මදාස

රෑ තරු බබලන්නේ කොයි තරම් ලස්‌සන රටාවකට ද....... හරියට මල් පිපිලා වගේ. අතින් අල්ලා ගන්න බැරි තරම් ඈතක දිදුලන තාරුකා. හැම ශීතල උදුවප් මාසයකම පොළොවට පා තබනවා.

රූ රැසේ අඳිනා ලෙසේ අත්
ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක්‌ වන ලෙසේ වෙණ
නාද නූ පා තබ තබා.....


දෙව්ලොව සිට ආ සුරංගනාවන් ගුත්තිලයන්ගේ වෙණ නදට පා තබමින් නර්තනයේ යෙදෙනවා වගේ ආකාසේ ඉඳලා බිමට බසින තාරකා නර්තනයේ යෙදෙනවා. අවුරුද්දකට එකම එක වරක්‌ දකින්න ලැබෙන සුන්දර රැඟුමන් එදාට මේ තාරකා විසින් ඉදිරිපත් කරනවා.

මේ පා තබන්නේ අපේ සිනමා අඹරේ දීප්තිමත් තාරකා. පසුගිය අවුරුදුවල වගේම මේ අවුරුද්දෙත් සිනමා අම්බරයෙන් බිමට බසින තරු රසික රසිකාවියන් පිනවන්න රංගනයේ යෙදෙවා. ඒ රාත්‍රිය රිදී රැයක්‌.


සියපත් විලක, නෙළුම් පොකුණක තාරුකා රඟ දෙද්දී ඒ රැය කොතරම් සුන්දර වේවිද? රිදී රැයක්‌ සිනෙස්‌ටාර් පදනම මෙවර ඉදිරිපත් කරන්නේ දසවැනි වරට. සිනෙස්‌ටාර් සිනමා ශිල්පීන්ගේ සුබසිද්ධිය තකා ආරම්භ කළ සංවිධානයක්‌. සිනමාවට, කලාවට ලැදි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ජයන්ත ධර්මදාස මහතාගේ සංකල්පයක්‌ මත ගොඩනැගූ සිනෙස්‌ටාර් පදනම වටා මේ වන විට මෙරට සිනමා හා ටෙලි නාට්‍ය නළු නිළියන්, කාර්මික ශිල්පීන් බොහෝ පිරිසක්‌ රැස්‌ව සිටී.

මේ ශිල්පීන්ට ජීවිත රක්‍ෂණ ආවරණයක්‌,
සෞඛ්‍ය රක්‍ෂණයක්‌, ජීවනාධාර වැනි ප්‍රතිලාභ ලබා දීම සඳහා සිනෙස්‌ටාර් අරමුදල ශක්‌තිමත් කිරීම රිදී රැයක්‌ ප්‍රසංගයේ අරමුණයි. ඒ අරමුණ ඔස්‌සේ පසුගිය වසර නවය පුරා සාර්ථක ගමනක්‌ ආ සිනෙස්‌ටාර් පදනම මෙවර රිදී රැයක්‌ දසවැනි ප්‍රසංගය මෙම 22 දා සවස 6.30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මේ අපූර්ව ප්‍රසංගය පිළිබඳ සිනෙස්‌ටාර් පදනමේ සභාපති ජයන්ත ධර්මදාස මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ මේ සටහනේ මතු දැක්‌වේ.


'රිදී රැයක්‌' දැන් වාර්ෂික ප්‍රසංගයක්‌ බවට පත්වෙලාද?


මේක ප්‍රශ්නයක්‌ තමයි. දැන් සමහරු ඉල්ලනවා 'රිදී රැයක්‌' අවුරුද්දට තුනක්‌ හතරක්‌ කරන්න කියලා. අපි මෙය වාර්ෂිකව කරන්නේ ඊට වැදගත්කමක්‌ වගේම අගය කිරීමකුත් ලැබී තිබෙන නිසයි. සමහරු අවුරුද්ද මුල ඉඳලාම අපෙන් අහනවා 'රිදී රැයක්‌' පවත්වන්නේ කවදද කියලා.

මේ තරම් ඉල්ලුමක්‌ තියෙන්න මොකක්‌ද මේ ප්‍රසංගයේ ඇති විශේෂත්වය?


මම හිතන්නේ සංවිධානයේ තිබෙන ශක්‌තිමත්කමයි. හැම කෙනෙකුටම විනයගරුකභාවයක්‌ තියෙනවා. සමහරු කියනවා අපිට රිදී රැයක්‌ ප්‍රසංගයේ නැටුම් ඉදිරිපත් කරන්න ඕනේ නෑ තේ එකක්‌ අල්ලන්න හරි කමක්‌ නෑ දායක වීමයි අවශ්‍ය කියලා. රිදී රැයක්‌ පවත්වන්නේ හොඳ පරමාර්ථයෙන් බව ඒ අය දන්නවා. සිනෙස්‌ටාර් පදනම කෙරෙහි ඔවුන්ට විශ්වාසයක්‌ තිබෙනවා.

මේ ප්‍රසංගයට එක්‌වන ශිල්පීන්ට ගෙවීමක්‌ කරනවාද?


නෑ...... මේ කිසි කෙනෙක්‌ මුදල් අය කරන්නේ නෑ. තම තමන්ගේ වියදමෙන් මාස දෙක තුනක ඉඳලා මේ වෙනුවෙන් වෙහෙසෙනවා. පුහුණුවීම් කරනවා. සමහරු තමන්ට ලැබෙන ටෙලි නාට්‍ය සහ චිත්‍රපට පවා මේ කාලය තුළදී අතහැර දාලා රිදී රැයක්‌ සඳහා කැප වෙනවා. ඒ කැපවීම අපි අගය කරනවා. ඔවුන් කිසිම දෙයක්‌ බලාපොරොත්තු වන්නේ නෑ.

ඇයි ඒ?


ඒක තමයි කියන්නෙ, ඒ අය දන්නවා සිනෙස්‌ටාර් පදනම පසුගිය අවුරුදු නවයේම කළ වැඩ සහ කරමින් සිටින වැඩ කටයුතු ගැන. ඔවුන් මේ පදනම සමඟ සමීප සම්බන්ධතා ඇති කරගෙන ඉන්නවා.

මෙවර රිදී රැයක්‌ පවත්වන්නේ දසවැනි වරට. මොකක්‌ද මෙවර තිබෙන විශේෂත්වය?


ලොකු ලොකු වෙනස්‌කම් තියෙනවා. සමහර වෙනස්‌කම් කළේ ප්‍රේක්‍ෂකයාගේ ඉල්ලීම මතයි. මේ දසවැනි සංවත්සරය. ඒ නිසා අලුත් දෙයක්‌ දිය යුතුයි. රිදී රැයක්‌ ප්‍රසංගය මෙවර ආරම්භ වන්නේ පසුගිය අවුරුදු නවයේ ඉදිරිපත් කළ ඉතා ජනප්‍රිය ගීත වලට කරන රංගනයන්ගෙන්. ඉන් පසු තමයි මෙම වසරේ ප්‍රසංගය ඇරඹෙන්නේ. අපි පළමු වසර නවයේ ගීත ඉදිරිපත් කරන්නේ බොහෝ දෙනාගේ ඉල්ලීම මත. ඔවුන් පසුගිය වසරවල රිදී රැයක්‌ ඩී.වී.ඩී. පට නරඹනවා කියලා යළි ඒවා සජීවීව දකින්න ඉල්ලනවා.

ප්‍රසංගයට ශිල්පීන් තෝරා ගැනීම අභියෝගයක්‌ වුනේ නැද්ද?


අපි ඒ ඒ ශිල්පීන් තෝරා ගන්නේ ගීයට අදාළවයි. පළමුව පිටපතක්‌ සකස්‌ කරනවා. ඉන් පසු ගීත තෝරා ගන්නවා. ඒ තෝරාගත් ගීයට වඩාත් හොඳින් රංගනය ඉදිරිපත් කළ හැකි ශිල්පීන් කවුද කියා හඳුනාගන්නේ ඉන් අනතුරුවයි.

ඒ අවස්‌ථාවේදී හිත් අමනාපකම් සිදුවන්නේ නැද්ද?


තියෙනවා, නැත්තේ නෑ. ඕනෑම ආයතනයක වුණත් කොතරම් වැටුප්, ප්‍රසාද දීමනා, පහසුකම් ගෙව්වත් ප්‍රශ්න ඇතිවෙනවනේ. මම සමාගමක්‌ පාලනය කරන නිසා ඒ ගැන දන්නවා. ඉතින් එවැනි කෙනෙක්‌ දෙන්නෙක්‌ හිටියාම ඇති ප්‍රශ්න ඇති කරන්න. ඒත් අපි ඒවා ගණන් ගන්නේ නැහැ. 'රිදී රැයක්‌' කියන්නේ ලංකාවේ වැඩිම මුදලක්‌ ගෙවා නරඹන ප්‍රසංගය. එනිසා නරඹන්නාට හොඳ, ගුණාත්මක දෙයක්‌ දෙන්නත්, උපරිම දස්‌කම පෙන්වන්නත් තමයි අපිට අවශ්‍ය.

ඒ කියන්නේ රිදී රැයක්‌ නැරඹීමට වැය කරන මුදල අපතේ යැමක්‌ නොවේ කියාද?


සත්තකින්ම, මේ වගේ ප්‍රසංග කීයක්‌ පවත්වන්න සමහර අය උත්සාහ කළාද, ඒත් ඵලක්‌ වුණේ නැහැ. ඒවා අතරමඟ කඩා වැටුණා. ඒ ප්‍රසංගය යන අතරතුරදී ප්‍රේක්‍ෂකයන් නැගිට ගිය අවස්‌ථා තියෙනවා. ඒත් අපේ රිදී රැයක්‌ ප්‍රසංගය අවසන් වූ පසුවත් ප්‍රේක්‍ෂකයන් ශාලාවෙන් පිටව යන්නේ නෑ. ඔවුන්ව හසුරුවා ගන්නේ හරිම අසීරුවෙන්. ඒ තරමට ප්‍රේක්‍ෂකයන් රිදී රැයක්‌ බලන්න ආසයි. ශ්‍රී ලංකාවේ සහ පිටරටවලත් සමහරු එක එක රැයවල් කරන්න ගියානේ. අන්තිමට මොකද වුණේ?

රිදී රැයක්‌ වරක්‌ දෙවරක්‌ විදේශ රටවලට ගෙන ගියා නේද?


ඔව්. ඇත්තටම අදත් පිටරටවලින් ඉල්ලුම තියෙනවා. එකම ප්‍රශ්නෙ තමයි නළු නිළියෝ දහදෙනෙක්‌ දාලා මේක කරන්න බැරි එක. කරනවා නම් සම්පූර්ණ ප්‍රසංගයක්‌ කළ හැකයි. වියදම අධිකයි. තත්ත්වය බාල නොකර මෙය කළ යුතුයි. විශේෂයෙන් ම රිදී රැයක්‌ කරන්නන් වාලේ කරලා නළු නිළියන් හෑල්ලුවට ලක්‌ කරන්න අපි කැමැති නෑ.

ප්‍රසංගයේ තත්ත්වය මේ ආකාරයට පවත්වා ගෙන යන්නේ කොහොමද?


අපි සෑම ප්‍රසංගයක්‌ම අවසන් වූ වහාම දින දෙකක්‌ ඇතුළත කමිටුව රැස්‌වෙලා එහි අඩුපාඩු සාකච්ඡා කරනවා. සිනෙස්‌ටාර් අධ්‍යක්‍ෂ මණ්‌ඩලයත්, කමිටුවත් එකට හමුවෙලා ප්‍රසංගයේ හොඳ නරක කතා කරනවා. රිදී රැයක්‌ ශ්‍රී ලංකාවේ තිබෙන හොඳම ප්‍රසංගය කියා කියන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ සඳහා අනුග්‍රාහකයන් විශාල මුදලක්‌ ගෙවන්නේ.

ප්‍රවේශපත්‍ර අලෙවි වෙලාද?


දැනටම සල්ලි බැඳලා ප්‍රවේශ පත්‍ර වෙන් කරගෙන. අපෙන් ප්‍රසංගය පවත්වන දිනය කලින්ම දැනගෙන හරියටම ඒ වෙලාවට පිටරට ඉඳලා ලංකාවට එන කීප දෙනෙක්‌ ඉන්නවා. මෙවර නම් ප්‍රසංගයේ විශාල වෙනසක්‌ තියෙනවා. පසුගිය ප්‍රසංග නවයේම නොකළ වෙනස්‌කම් කීපයක්‌ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සහ චන්න විෙ-වර්ධනගේ ඉල්ලීම මත භාතිය ජයකොඩිගේ අධ්‍යක්‍ෂණයෙන් සමහර කොටස්‌ රඟ දක්‌වනවා. භාතිය මේ සඳහා විශාල කැපකිරීමක්‌ කරනවා. මේ ප්‍රසංගය සංවිධානයට ශිල්පීන්ගෙන් සැදුම්ලත් කමිටුවක්‌ තියෙනවා. ඒ කමිටුව ලබා දෙන උපදෙස්‌ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය පිළිගන්නවා. ඒ අවස්‌ථාවට අනුකූලව අපි වැඩ කරනවා. අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ කිසිම සාමාජිකයෙක්‌ රඟපෑමට හෝ කාර්මික ශිල්පයටවත් සම්බන්ධ නැති අය. ඔවුන් වෙනම වෘත්තිකයන් පිරිසක්‌.

ඔබ ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති තනතුරේ කීපවරක්‌ කටයුතු කළා. අද සිනමාව තිබෙන තැන ගැන සතුටුවිය හැකිද?


සිනමාව ගැන කතා කරන්න කැමැති නෑ මම එතැන නැති නිසා. ඒත් මට ලැබෙන විවිධ ආරංචි අනුව නම් සිනමාව එතරම් හොඳ තැනක නෑ. චිත්‍රපටයක්‌ දෙකක්‌ සාර්ථකයි. ඒත් අපි දැන් අවුරුද්දකට චිත්‍රපට කීයක්‌ නිෂ්පාදනය කරනවාද. කීයක්‌ නිපද වූවාද, ප්‍රේක්‍ෂක සංඛ්‍යාව කොපමණද කියන කරුණු අනුව නම් මට දැන ගන්න ලැබී තියෙන්නේ එතරම් සුබ නෑ කියලා.

සංස්‌ථාවෙන් සිදුවිය යුතු මෙහෙවර නිසි ලෙස සිදුවන බව කිව හැකිද?


ජාතික චිත්‍රපට සංස්‌ථාව කියන්නේ සිනමා කර්මාන්තය රැකගන්න තියෙන එකම ආයතනය. නැතිව පුද්ගලයන් රකින තැනක්‌ නොවේ. මම දන්නා තරමින් ශ්‍රී ලංකාවේ තියෙන පැරැණිම කර්මාන්තය තමයි සිනමා කර්මාන්තය. සමහර පැරැණි කර්මාන්ත පුද්ගලකරණය කරලා. සමහර ඒවා කැඩී බිඳී ගිහින්. ඒත් ආණ්‌ඩුව යටතේ තවමත් පවත්වා ගෙනයන පැරෑණිම කර්මාන්තයයි මේ. ක්‍රිකට්‌ ක්‍රීඩාවට අමතරව ජාත්‍යන්තරයට අපේ නම ගෙන ගියේ සිනමාව. එතැනදී සංස්‌ථාව කළ යුත්තේ ප්‍රදර්ශකයන්, ශාලා හිමියන්, අධ්‍යක්‍ෂවරු, නිෂ්පාදකවරු වෙන වෙනම කමිටුවලට වෙන් නොකර එකට එකතු කර ගැනීමයි. එය සංස්‌ථාව යටතේ සිදු කළ යුතුයි. මා සිටිද්දී එහෙම කළා. ඒ නිසා බොහෝ ප්‍රශ්න ජය ගත්තා. එදා ගත් සමහර තීන්දු තීරණ අදත් ක්‍රියාත්මක වෙනවා. චිත්‍රපට සංස්‌ථාවෙන් විය යුත්තේ එයයි.

අපේ ශිල්පීන් අද ඉන්නේ කෙලින් සිටගත හැකි තත්ත්වයකද?


නෑ. සිනෙස්‌ටාර් සාමාජිකයන් තුන්සීයකට වැඩි පිරිසක්‌ ඉන්නවා. තුන්සිය පනහක්‌ විතර. ඒ අයගෙන් මටත්, අපේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලයටත් ලැබෙන තොරතුරු එතරම් හොඳ නෑ. අපිට හැකි ලෙස අපි ඔවුන්ට සලකනවා. ජීවිතය නැති වුණොත් රුපියල් ලක්‍ෂ දෙකක්‌, හදිසි අනතුරකදී ලක්‍ෂයක්‌ ආදී ලෙස රක්‍ෂණ ආවරණයක්‌ අපි මේ ශිල්පීන්ට ලබා දී තිබෙනවා. ඊට අමතරව තමන් කැමැති ඕනෑම රෝහලක ප්‍රතිකාර ලබා ගත හැකි වෛද්‍ය රක්‍ෂණයක්‌ ලබා දෙනවා. තෝරාගත් ශිල්පීන් විසිපස්‌දෙනකුට මාසිකව ජීවනාධාර මුදලක්‌ ගෙවනවා. ඒ සඳහා තවත් ශිල්පීන් විසිදෙනෙක්‌ දැනට තෝරාගෙන සිටිනවා. ඒ අයටත් මේ ජීවනාධාර මුදල ජනවාරි මාසයේ ඉඳලා ලබා දෙනවා. මම නිතරම කියන කරුණක්‌ තියෙනවා. ක්‍රිකට්‌ ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව. ඒත් යම් ක්‍රීඩකයෙක්‌ කොතරම් දක්‍ෂ වුණත් ඔහු ක්‍රීඩාවෙන් සමුගත්තාට පසුව කිසිවෙකු ඔහුව හඳුනන්නේ නෑ. තැකීමක්‌ කරන්නේ නෑ. ඒත් නළු නිළියෝ එහෙම නොවේ. රංගනයෙන් සමු අරන් අවුරුදු විස්‌සක්‌ තිහක්‌ ගියත් අදත් ඔවුන්ට පිළිගැනීමක්‌ තියෙනවා. හඳුනනවා. සලකනවා. ඉතින් එවැනි පිරිසක්‌ දැක බලා ගැනීම අපේ යුතුකමක්‌. ඔවුන් තමන්ගේ ප්‍රශ්න සියල්ලම හිත තුළ රඳවාගෙන අපිට රස වින්දනයක්‌ ලබා දෙන්න ඉදිරිපත් වෙනවා. ඉතින් එවැනි පිරිසක්‌ රැක බලා ගැනීම අපේ වගකීම බව මම නිර්භයවම ප්‍රකාශ කරනවා.

රිදී රැයක්‌ සාර්ථකත්වය පිටුපස ඉන්නා අය...


බොහෝ පිරිසක්‌ ඉන්නවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ අතර විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි ප්‍රවීන නර්තන ශිල්පී චන්න විෙ-වර්ධන ගැන. ලෝකයේ සිටින වෙන කවුරු කැඳවා ගෙන ආවත් චන්න තරම් හොඳට මේ කටයුත්තට ඔවුන් ගැලපෙන්නේ නෑ. චන්න නළු නිළියන් සමඟ තිබෙන සුහදත්වය වගේම ඒ අයගෙන් ගත හැකි උපරිම දස්‌කම් ඉස්‌මතු කරගන්නවා. ඒ වගේම ඕනෑම අවස්‌ථාවකදී අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සමඟ එක්‌ව වැඩ කිරීමට චන්න පසුබට වෙන්නේ නෑ. එය මම අගය කරනවා. ඒ වගේම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයත්, තිලක්‌ හේවාකපුගේ මහතාත් සඳහන් කළ යුතුයි. හේවාකපුගේ මහතා ඉතාම කැපවීමෙන් දිවා රෑ නොබලා සංවිධාන කටයුතු කරනවා. සෑම ප්‍රශ්නයකදීම ඔහු එය කරට අරගන්නවා. කිසිවෙකුට ගැටලුවක්‌ ඇතිsවෙන්න දෙන්නේ නෑ. තිස්‌ස නාගොඩවිතාන මහතාගේ දායකත්වයත් අගය කරනවා. ඔහු චිත්‍රපටවල දර්ශන කොටස්‌ අපට ලබා දෙන්නේ කිසිම මුදලක්‌ අය නොකර. ඒ වගේම ටෙලිකොම් ආයතනයට. රිදී රැයක්‌ පූර්ණ අනුග්‍රාහකත්වය දරන්නේ ටෙලිකොම්. මින් පෙර පසුගිය අවුරුදු නවය තුළ අපට අනුග්‍රහය දැක්‌වූ යුනිලීවර්Êසමාගමත්, මන්චී සමාගමත් ස්‌තුති පූර්වකව මතක්‌ කළ යුතුයි.

මෙවර රිදී රැයක්‌ බලන්න අවස්‌ථාව හැම කෙනෙකුටම ලැබේවිද?


අපි මේ දවස්‌වල සාකච්ඡා පවත්වනවා. දවස්‌ දෙකක්‌ තියන්න පුළුවන්ද කියලා. එක ළඟ දවස්‌ දෙකක්‌ තියෙද්දී ශිල්පීන්ට වෙහෙසකරයි. ඒ වගේම නෙළුම් පොකුණ රඟහල ලබා ගැනීමේ අපහසුතාව ගැනත් සාකච්ඡා කෙරෙනවා.

සිනමා ශිල්පීන් රැකබලා ගැනීම සිනෙස්‌ටාර් පදනම සිදුකිරීම රටට, රජයට විශාල සහනයක්‌ කිව්වොත්?


ඔව්. ආණ්‌ඩුවට හැම දෙයක්‌ම කරන්න බෑ. විවිධ ආයතන සමාගම් විසින් ආණ්‌ඩුවට සහාය දිය යුතුයි මෙවැනි කටයුතුවලදී. අපේ කලා ශිල්පීන් නඟා සිටුවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගන්නා ක්‍රියාමාර්ග ගැන සඳහන් කළ යුතුමයි. එතුමාගේ සංකල්පයට චින්තනයට ශක්‌තියක්‌ දීම අපේ යුතුකමක්‌. කලාකරුවන් වෙනුවෙන් පොලී රහිත වාහන ණය මුදලක්‌ ලබා දුන් එකම රාජ්‍ය නායකයා එතුමා. වෙන කිසිම රජයකින් කලාකරුවන්ට එවැන්නක්‌ ලැබුනේ නෑ. ජනාධිපතිතුමාගේ එවන් සංකල්ප අපි අගය කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් රණවිරුවන් උදෙසා ප්‍රසංග පවත්වද්දී අපිත් සිනමා ශිල්පීන් වෙනුවෙන් රිදී රැයක්‌ වැනි ප්‍රසංග ඔස්‌සේ රජයට ශක්‌තිය ලබා දෙනවා.

උපුටා ගැනීම දිවයින පුවත්

Gossip Lanka Hot News Previous News Archive