අයහපත් කාලගුණයෙන් 13ක් මරුට: 89000කට පීඩා - Adverse weather in Sri Lanka kills 13



දිවයිනට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 89000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.මේ අතර, පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ, ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවේ පියෙකු හා පුතුන් දෙදෙනකු එලෙස මියගොස් ඇති බවය.පියාගේ වයස අවුරුදු 40 ක් වන අතර පුතුන් දෙදෙනා 10හැවිරිදි සහ 14 හැවිරිදි වියේ පසුවිය.මේ අතර කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ ජල ගැලීම්වලට කොටුව සිටි ළමුන් දෙදෙනෙකු ගුවන් මගින් බේරාගෙන තිබේ.


ගුවන් හමුදා ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ශිරාෂ් ජලාල්ඩීන් මහතා පැවසුවේ ගුවන් හමුදාවට අයත් බෙල් 212 යානාවක් මගින් එම ළමුන් දෙදෙනා බේරාගත් බවය.විපතට පත්වූවන් බේරා ගැනීම සදහා අවශ්‍යතාවය පරිදි කටයුතු යෙදීමට ගුවන් හමුදාව සුදානමින් සිටින බව ද ඔහු සදහන් කළේය.මේ අතර, වලවේ ගඟ පිටාර ගැලීමෙන් අම්බලන්තොට නගරය ආශ්‍රිත ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ.අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හම්බන්තොට දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ බලඝන නායක හර්ෂ රවීන්ද්‍ර මහතා පැවසුවේ මේ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ වනවිට අම්බලන්තොට නගර සීමාව ජලයෙන් යට වී ඇති බව ද ඔහු සදහන් කළේය.මේ අතර මාතලේ, රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිකොලොව වත්තේ කන්දක් නායයාම හේතුවෙන් කොටු වී සිටි පුද්ගලයින් 151 දෙදෙනෙකු බේරාගෙන තිබේ.ඒ ‍පොලිසිය හා යුද හමුදාව එක්ව ක්‍රියාත්මක කළ සහන මෙහෙයුමකිනි.පොලිසිය පැවසුවේ බේරාගනු ලැබු පිරිස අතර කුඩා ළමුන් ද වේ.බේරාගත් පිරිසෙන් 6 දෙනෙකු ප්‍රතිකාර සදහා රත්තොට රෝහලටත්, තවත් දෙදෙනකු මාතලේ රෝහලටත් යවා ඇතිබව පොලිසිය සදහන් කළේය.විපතට පත්ව සිටින, ජනතාවට සහන සැලසීමට පියවර ගෙන ඇතැයි, මාත‍ලේ දිස්ත්‍රික් ලේකම් කේ.එච්.ඒ මීගස්මුල්ල මහත්මිය පැවසුවාය.

මේ අතර ඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබේ.ජලාශය භාර වාරිමාර්ග ඉං‍ජිනේරු එම්.ඒ.එස්.එස් ගුණසේන මහතා පැවසුවේ මේ හේතුවෙන් නවගත්තේගම, ආනමඩුව සහ කළුවරගස්වැව ප්‍රදේශවාසීන් අවධානයෙන් සිටිය යුතු බවය.‍මේ අතර වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


Gossip Lanka Hot News Previous News Archive