අම්පාර-දමන ප්‍රදේශ රැසක ඊයේත් භූ චලන 2 ක්‌ ,Ampara and Damana earthquake

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දේවාලෙහිඳ, කෙත්සිරිගමුව, ගල්කන්ද, වඩිනාගල, පල්ලන්ඔය, කිව්ලේගම ආදී ප්‍රදේශවලට ඊයේ (10 දා) උදෑසන පෙ.ව. නමයයි තුනට (9.03) හා පෙ.ව. දහයයි දහතුනට (10.13) භූ කම්පන දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ ද මේ අයුරින් භූකම්පන දෙකක්‌ (02) මෙම ප්‍රදේශයේ සිදුවී තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම භූ චලන 31 කට වැඩි ප්‍රමාණයක්‌ සිදුවූ බව ද මෙම ජනතාව පවසති.


"එකපාරටම සද්දයක්‌ එක්‌ක තමයි මේ ආකාරයෙන් පොළොව දෙදරලා ගෙදර පුටු මේස වහළ සෙලවිලා යන්නේ. එහෙත් එය තත්පර කිහිපයක්‌ තුළ අවසන් වෙනවා. මේ වනවිට දේවාලේගම ග්‍රාමසේවා වසමේ පමණක්‌ නිවාස තිහකට (30) අධික ප්‍රමාණයක බිත්ති පිපිරිලා ඉරි තලලා. ඇතැම් නිවාසවල කොන්ක්‍රීට්‌ බාල්ක පවා පුපුරලා. බොහෝ දෙනකු රෑට නිදාගන්නේ හරිම බයෙන්. කොයි වේලාවේ ලොකු භු චලනයක්‌ වෙලා ගෙවල් කඩා වැටෙයිද කියා බයෙන් ඉන්නේ. මේ පිළිබඳ කඩිනමින් පරීක්‍ෂණයක්‌ කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා" යෑයි දේවාලේහිඳ ග්‍රාමසේවා නිලධාරී සුසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

මේ පිළිබඳව භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.

"දැනට අපි මේ ප්‍රදේශයේ තාවකාලික භූකම්පන මාන 3 ක්‌ සවිකර පරීක්‍ෂණ කටයුතු කරගෙන යනවා. 8 වැනිදා රාත්‍රියේ සිදුවූ භූකම්පනය අපේ උපකරණවල සටහන් වී තිබෙනවා. එය ස්‌වාභාවික භූකම්පනයක්‌ නොව මිනිස්‌ ක්‍රියාකාරකමක්‌ නිසා සිදුවූ භූ චලනයක්‌ බව අප 90% ක්‌ අනුමාන කරනවා. ඊයේ උදෑසන සිදුවූ භූ චලනයන් ද අපගේ උපකරණවල සටහන් වී තිබෙනවා. එම කම්පනයන්ට බලපෑ හේතුව කුමක්‌දැයි මේ වන විට පරීක්‍ෂණ කරනවා. ඉදිරි පරීක්‍ෂණවලදී මේ පිළිබඳ නිවැරැදි තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇත.

Gossip Lanka Hot News Previous News Archive