උපන් දා සිට උඩුබැලි අතට සිටින අක්කා (57)-මලෝ(52)

ඉපදී අවුරුදු 2ක් පමණ වන විට සැදුණු රෝගයක් නිසා අත පය වකුටු වී ආබාධිත වූ මේ ගැහැනිය නමින් එස් යසවතීය.

වයස අවුරුදු 57කි. අනෙක් තැනැත්තා ඇගේ මල්ලීය. නමින් එස්. ගුණදාසය. වයස අවුරුදු 52කි. ඔහුද ඉපදී අවුරුදු 2කින් සැදුණු රෝගාබාධයක් නිසා අත පය වකුටු වී ආබාධිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොවුන් ගෙන ගියද සුව කරන්නට බැරි බව වෛද්‍යවරු පවසා ඇත.




මොවුන් පහළ කුරුවිට, මහයාය නම් ගම් ප්‍රදේශයේ බී. පොඩිනෝනා (ඇයට අවුරුදු 83) හා දැනට වසරකට පෙර මියගිය (අවුරුදු 87) එස්. මැන්ඩිස්ගේ පවුලේ දරුවන් අට දෙනාගෙන් වැඩිමහල් දෙදෙනාය.


පැරැණි සමාජ ක්‍රමය තුළ තිබුණා වූ මිනිස් ගුණධර්ම තරමක් දුරට හෝ සම අසම වෙමින් තිබියදී හමා ආ විවෘත ආර්ථික චණ්ඩ මාරුතයට හසුවී සමාජ ධර්ම උඩු යටිකරු වී නා නා විසූකදස්සනයන් රඟදෙන මෙම සමාජය තුළ තමා කැමැති පරිදි කුසට අහරක් නැතුව කිසිම දිනක තමා කැමැති අන්දමට ඇඳුමක් ඇඳගත නොහැකිව නැඟිටින්නට හෝ අතපය සොලවන්නට නොහැකිව බිත්ති හතරට කොටු වූ පටු ලෝකයක ගෙයි වහලට සීමාවූ හිස් අහස දෙස පමණක් බලා සිටින මෙවැනි අසරණ මිනිසුන්ද සිටින බව සිතන්නෝ කොතෙක් විරලද?


තම මවුපියන්, සහෝදරයන්, ඥාතීන් හිතවතුන් විසින් අඩ සිය වසකටත් වඩා කාලයක් මේ ආබාධිතයන් ජීවත්කරවන්නට අනන්ත කැපවීම් කරන්නට ඇත. ජීවත්වීමේදී ඇතිවන ඉතා කුඩා ආරවුලක් පවා දුර දිග ගෙනමින් පවුල් ප්‍රශ්න ගොඩ නඟාගෙන නිදි ඇදේම තම දරුවන් තුරුලු කරගෙන ඇඟට ගිනි තබා ගන්නා කුඩා දරුවන් ගඟට විසිකරන කිරි කැටියන් කුණු බාල්දිවලට වැසිකිළිවළවළට ඔබන, උපදින්නට මාන බලන මනුස්ස ජීවීන් කූඩැල්ලන් සේ ගලවා මිරිකා දමන ලේ කිරිකර පෙවූ මව නැළ වූ හැදූ වැඩූ පියා අඳුරු තැන්වලට ගෙන ගොස් තනිකර දමා දුවන රුදුරු ගොර සපුන් වත් නාමික මිනිසුන් සිටින සමාජයකි මේ. ඒ තුළ මනුස්ස මුහුණක් පමණක් ලබා ඉපදී ඇති යසවතීගේ හා ගුණදාසගේ ජීවිත ජීවත් කරවන එම අහිංසක මිනිසුන් කොතරම් පරමාදර්ශීද?


බුදු, පසේ බුදු, මහ රහත් වන්නට හෝ අනෙකුත් මඟ පල ලබන්නට, රජ සිටු වන්නට යහපත් හෝ අයහපත් ලෙස මිනිස් දිවියක් ගෙවන්නට, එක මොහොතකින් මුළු ලොවම පුලුස්සා දමන්නට හැකි පරමාණුක වැනි ශක්තීන් නිපදවන්නට තරම් ප්‍රබල පාපකාරී මානසික ශක්තීන්ද ඇති මිනිසුන් උපත ලබන එකම ස්ථානය වූ මේ මිනිස් ලොව ගුණදාස හා යසවතීද උපත ලබා ඇත්තේ එසේ මෙසේ පුණ්‍ය ශක්තියකින් නොවේ. එහෙත් වඩා ප්‍රබල වූ පාප ශක්තිය ඔවුන් මෙසේ රුදුරු වූ ආබාධිතයන්ද කර නොමරා තබා ගෙන විපාක දෙවමින් සිටී. නිරෝගී යහපත් කායික, මානසික තත්ත්වයක් ඇති ප්‍රඥාවන්ත මිනිසුනට කළ හැකි යමක් ඇත.


එදිනෙදා හමුවන කුලී වැඩ කරමින් මොවුන් ජීවත් කර වූ පියා වයෝවෘද්ධව වසරකට පෙර මිය යෑමෙන් පසු මොවුනට රැකවරණය දෙන මවද දැනට සිටින්නේ අසනීපවය. මොවුන් රැකබලා ගන්නා පවුලේ උදවියට වුවද එම කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් එතරම් නැත.


මෙම ආබාධිතයන් දෙදෙනා පිළිබඳ ඔබගේ අවධානය යොමුවන්නේ නම් 0453467738 යන දුරකතන අංකයට හෝ එස්. සංඝදාස; 840; පහළ කුරුවිට, කුරුවිට යන ලිපිනයට ඇමැතීමෙන් අවශ්‍යතා පිළිබඳ සොයා බැලිය හැක.


Gossip Lanka Hot News Previous News Archive