වසරකට කෝටි 800ක ගංජා ගහන ජාතියක් බවට අප පත්වෙලා - ඇමැති චම්පික රණවක මහතා

 මත්ද්‍රව්‍ය පිළිබඳ අලුත්ම දත්තවලට අනුව අවුරුද්දකට කෝටි 800ක ගංජා ගහන ජාතියක් බවට අප පත්ව සිටිනවා. අධ්‍යාපනයට බිලියන 92යි. මත්ද්‍රව්‍යවලට බිලියන 152යි. අප යුද්ධ කර දිනාගත් මහපොළොව මේක දැයි? විදුලි බල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රශ්න කරයි.

ඇමැති චම්පික රණවක මහතා එසේ ප්‍රකාශ කෙළේ පෙරේදාට (12දා) යෙදුණු ගංගොඩවිල සෝම හිමියන්ගේ 9 වැනි ගුණ සමරු උත්සවය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති මහසඟ සමුළුවේදීය.


සෝම හිමියන්ගේ මෑණියන් ප්‍රමුඛ විශේෂ ආරාධිතයන් විසින් සෝම හිමියන්ගේ සිතුවමට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු උත්සවය ආරම්භ විය.

'ඒකීය රට සුරකිමු ජාතිවාදීව රට බෙදීම වළකමු' යන තේමාව යටතේ සමුළුව ජාතික සංඝ සම්මේලනය විසින් සංවිධානය කර තිබිණි.

චම්පික රණවක ඇමැතිවරයා මෙසේද පැවැසීය.

එදා අපට අභියෝගය තිබුණේ අපේ රාජ්‍යය අපේ ආණ්ඩුව, අපේ ජාතියේ අපේ ජනතාවගේ ශාසනයේ අවශ්‍යතාවන් ඡන්ද කුට්ටිවලට වෙන්දේසි කරන යුගයක් ඇතිවී තිබීමයි. අපට හැකි වුණා ඒ ඡන්ද කුට්ටිවලට ජාතික දේශපාලනය පැතිරවීමට තිබූ බලය 2005දී වෙනස් කරන්න.


දස ලක්‍ෂයකගේ අවශ්‍යතාව අනුව ජාතික දේශපාලනය නටවපු යුගය අපි වෙනස් කළා. ඒවගේම ආයුධ සන්නද්ධව කාලතුවක්කු අතින් අරගෙන රට යටත් කරගන්නට මාන බැලූ ඒ මහා ශාපය ඉවත් කරගන්නට හැකියාව ලැබුණා. නමුත් එදා නන්දිකඩාල් කළපුවේදී වේලු පිල්ලේ ප්‍රභාකරන් හා ත්‍රස්ත නායකයන් පරාජය කරන්නට අප සමත් වුණත් ඔහුගේ සිහිනය පරාජය කරන්න අපි තවමත් අපොහොසත් වෙලා තියෙනවා.


අද නැවතත් විදේශවල ඒ බලවේග සංවිධානය වෙලා උත්සාහ කරන්නේ බෙදුම්වාදී ත්‍රස්තවාදය වෙනුවට ව්‍යවස්ථානුකූල බෙදුම්වාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්නටයි. එක්සත් ජාතීන්ගේ සංවිධාන ඇතුළු තවත් බොහෝ සංවිධාන ඊට රුකුල් දෙනවා.


'දිවි නැඟුම' පනතේදී අධිකරණය ප්‍රකාශ කෙළේ කුමක්ද? පළාත් සභාවලින් විමසීමක් නොකොට අපට පනත් සම්මත කිරීමට නොහැකි බවයි. උතුරු පළාත් සභාව දෙමළ සන්ධානය නමැති ජාතිවාදී හස්තයට හසු වුණොත් අපේ පාර්ලිමේන්තුවේ බලය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට අයත් බලය සම්පූර්ණයෙන් මේ ජාතිවාදී අතළොස්ස විසින් නටවන තත්ත්වයට ලක්වනු නොඅනුමානයි.


ඒ නිසා අපි වහාම මේ අනතුර දැකලා වේලු පිල්ලේ ප්‍රභාකරන් පමණක් නොවෙයි. ඒ සිහිනයත් ඝාතනය කරන සටන නැවත ආරම්භ කිරීමට අපට සිදුවී තියෙනවා. මේ සංඝ සම්මේලනය නැවත ඒ අර්හත් ධජය ඉදිරියට ගැනීම ගැන අපි ඉතාමත් සතුටට පත්වන බව ප්‍රකාශ කළ යුතුයි.


ඒ වගේම අපේ සමාජයේ ඉදිරි කාලය ගැන බලනවිට අපි දකින්න ඕන ත්‍රස්තවාදය විසින් මේ රටේ ජනවාර්ගික සංහාරයක් දියත් කළා. එදා යාපනේ දිස්ත්‍රික්කයේ 20,472ක් සිංහල ජනතාව ජීවත් වුණා. අද ඒ ජනතාවට ජීවත්වීමට හැකියාවක් නැහැ. ඒ ජනතාවගේ ඉඩම් සියල්ලම එල්.ටී.ටී.ඊ. ඊළම වෙනුවෙන් ජීවිත පූජා කළාය කියන මහාවීර පවුල්වලට බෙදා දීල ඉවරයි.


යුද්ධය ජයග්‍රහණය කර දැන් අවුරුදු 3ක් ගතවී තිබෙනවා. තවමත් මුළු යාපන දිස්ත්‍රික්කයේම පදිංචි කරවා තිබෙන්නේ සිංහල ජනතාව 746යි. එදා 1971දී දස දහසකට අධික මුස්ලිම් ජනතාවක් එහි ජීවත් වුණා. අද එහි පදිංචිව සිටින්නේ 2000ක් පමණයි.


උතුරේ නැවත පළාත් සභාව තියන්නේ ප්‍රභාකරන් විසින් කෑලි කපලා පලවා හැරපු සිංහල, මුස්ලිම් ජනයා අනාථ කඳවුරුවල සිටියදී නම්, එහිදී ත්‍රස්තවාදීන් විසින් කරපු ඒ අපරාධය අප ව්‍යවස්ථානුකූලව නීතිගත කළා වෙනවා.


අපි මෙහිදී අවධානය යොමු කළ යුත්තේ උතුරේ පළාත් සභා ඡන්දය තබනවා නම් 1971 තිබූ ජන අනුපාතය අනිවාර්යයෙන්ම ස්ථාපිත කළ යුතුයි. දකුණේ කළු ජූලිය ගැන කතා කරනවා. දෙමළ ජනයා කොළඹින් පලවා හැරීම ගැන කතා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස එදා 1971දී කොළඹ නගරයේ දෙමළ ජනතාව ජීවත් වුණේ 21%යි. අද කොළඹ නගරයේ දෙමළ ජනයා 33%ක් ජීවත් වෙනවා. එදා 1971 කොළඹ නගරයේ 50.6%ක බහුතරයක් සිංහල ජනතාව ජීවත් වුණා. අද ඒක 24%ට අඩු වෙලා. එදා මුස්ලිම් 19%යි කොළඹ ජීවත් වුණේ. අද එය 40%ක් වී තිබෙනවා.


අද කළු ජූලිය ගැන කතා කරන අයගෙන් අපි අහන්න කැමැතියි කොළඹ නගරයේ මේ ජන සංහාරය ඇසට නොපෙනී කෙසේද සිදුවුණේ කියනා කාරණය.
එකක් පැහැදිලියි, යාපනය ගත්තත් කොළඹ ගත්තත් රටේ ඕනෑම තැනක් ගත්තත් දෙමළ ජනතාවට නිදහසේ ජීවත්වීමේ අයිතිය ලැබී තිබෙනවා. ඒ අයිතිය නැත්තේ සිංහල ජනතාවටයි. මේ රටේ ඉතිහාසය පුරා වසර 2300ක් ජනතාවට මඟ පෙන්වූ අර්හත් ධජයට නැවත අවස්ථාව උදාවෙලා තිබෙනවා මඟ පෙන්වීමට. ඒ අයිතිය. ඒ මානව අයිතිය නැවත දිනා ගැනීම සඳහා කටයුතු කරන්න අපට සිද්ධවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ සංඝ සමුළුවේ බලය පෙරමුණු ගැන්වීමට අපි ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා.


අපි මේ ජයග්‍රහණ ලබා ගත්තට වැඩක් නැහැ. ආර්ථික ක්‍ෂේත්‍රයේ, සමාජයීය ක්‍ෂේත්‍රයේ අපි පරාජය ලබනවානම්. ඊයේ ප්‍රකාශයට පත්වී තිබුණා. මත්ද්‍රව්‍ය අංශයේ දත්ත සංඛ්‍යා ලේඛන ටිකක්. ඒ වා දුටු අවස්ථාවේ මා පුදුමයට පත්වුණා. අද කාලයක් ඔෟෂධයක් හැටියට තිබූ ගංජා භාවිතයට පමණක් රුපියල් කෝටි 800ක් අපි වැය කරනවා. අපි සමෘද්ධි සහනාධාරයට වැය කරන්නේ එවැනි මුදල් ප්‍රමාණයක්.


සමෘද්ධි සහනාධාරය දෙන්නේ දුප්පත්කම නැති කරන්න. ලක්‍ෂ 15කට දෙන සමෘද්ධි සහනය හා සමාන මුදලක් ගංජා ගහන ජාතියක් තමයි අපි බිහිකර තිබෙන්නේ. මත්පැන්වලට අද වියදම් කරන ප්‍රමාණය කෝටි 1,600යි. සමෘද්ධියට කෝටි 800යි. ඒ වගේම හෙරොයින් මත් කුඩු පානයට කෝටිගණන් මුදල් වැය කරන ජාතියක් අපි.


කොටින්ම අපි අධ්‍යාපනයට වියදම් කරන්නේ බිලියන 92යි. මත්ද්‍රව්‍ය, දුම්වැටිවලට පමණක් බිලියන 152ක් වැයකරන බව අපි කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. එහෙම නම් අපි දිනාගත් සමාජය මොකක්ද? දුරාචාරයට මෙතරම් වියදම් කරන රටක දුප්පත්කම නැති කළ හැකිද?


ඒ වගේම ඉදිරි අභියෝග ජය ගැනීම සඳහා මේ සමාජය සූදානම් කිරීමේ වගකීම අපේ මේ ජාතික බලවේගවලට හිමිවී තිබෙන බව අපි ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.


රටපුරා ඩෝසර් කරන රට පුරා බිම දමන පෙති පිළිම ආදී පුරාවස්තු උරුමය ආරක්‍ෂා කරන මහා බලවේගයක් බවට අප පත්විය යුතුයි. අප ඉදිරි කාලය තුළදී ඉතා පැහැදිලිව කිව යුතුයි අපට බලපෑම් ඉදිරිපත් කරන තමිල්නාඩුවේ දේශපාලකයන්ට ඉන්දීය දේශපාලකයන්ට වසර දෙදහස් ගණනක අපේ ඉතිහාසය ඔවුන්ගේ බලපෑම්වලට පාවා නොදෙන බව.


ඒ වගේම නැවත වතාවක් ජාතික අයිතිය දිනා ගැනීම සඳහා අපව වීදිවලට බස්සන්න එපා කියන පණිවුඩයත් අපි ඒ අයට ලබා දිය යුතුයි. තානාපති කාර්යාල ඇතුළේ, විදේශ රටවල ශීත කාමරවල මොන කුමන්ත්‍රණ කළත් මේ රටේ ගෞරවනීය මහා සංඝ රත්නය එක ධජයක් යටතේ සංවිධානය වෙලා ඒවා පරාජය කළ හැකි ශක්තිමත් බලවේගයක් ගොඩනඟන බව අපි ප්‍රකාශ කරනවා.


ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමි

බුදු දහම ආරක්‍ෂා කරන්න නම් අවුරුදු 2,600ක් තුළින් අවුරුදු 2,300ක්ම මේ දහම රැක්ක ජනවර්ගය රැකිය යුතු බවයි එදා සෝම හිමියන් පැවැසුවේ. ලොව අනභිභවනීය ඉතිහාසයකට උරුමය කියන එකම ජන වර්ගය වූ සිංහලයා ගැනයි උන්වහන්සේ එසේ කීවේ. එය රැකුණේ ශ්‍රී ලංකාව නමැති මේ පුංචි බිම්කඩේදී බවයි.
බුදු දහම රකිනවා නම් සිංහල ජාතිය රැක්ක යුතුයි. ශ්‍රී ලංකා භූමිය රැකිය යුතුයි. මේ පණිවුඩය තමයි සෝම හාමුදුරුවෝ දේශනා කෙළේ. මේක තේරුම් ගැනීම මතයි අප ඉදිරියට ආවේ.


අප තේරුම් ගත යුතු සත්‍යය තමයි කොටියා මැරුණාට කොටියට ශක්තිය දුන් න්‍යායාචාර්යවරුන් සහ බලවේග මැරුණේ නැහැ. උඹලා කල්පනාවෙන් හිටපල්ලා කියන පණිවුඩය මතක තබා ගත යුතුයි. මේ කතාව වන්නේ චණ්ඩ සූකර ජාතකයේ අපේ පාලකයෝ මේ දර්ශනය වටහා ගෙන සිටියා නම් අපි අද ඉන්න තත්ත්වයට වැටෙන්නේ නැහැ.


සිංහලයා විනාශ කිරීම් වූකලි බුදු දහමේ විනාශයයි. මෙය ආණ්ඩුව තේරුම් ගන්නේ නෑ. මේ බිම්කඩ දෙකඩ කිරීමේ අරමුණ සිංහලයා විනාශ කිරීමයි. නමුත් අවාසනාවට සිංහලකම, බෞද්ධකම පෙරදැරිකරගෙන බලයට එන ඇත්තෝ බලයට අවම සිංහලකම බෞද්ධකම අතහැර සර්ව ආගමික හැටියට බෞතීස්ම වෙනවා.
ඊට පස්සෙ කියනව මේක සර්ව ආගමික රටක් කියලා. ධර්මපාලතුමා කිව්ව උඹලව ඒ කතන්දර කියලා ඉනා බේත් කවල අන්තිමේදී උඹලගෙ දරුවො තිඹිරිගෙයිම මරා දාවි කියලා. කොළඹ 24% සිංහල ජනගහනය තිඹිරිගෙයිම මරාදාලා.


සිංහලයා විනාශ කිරීම බෞද්ධ විරෝධී අන්තර්ජාතික බලවේගවල වුවමනාව. මේ අපි මුහුණදෙන බරපතළම අභියෝගය. ඒ තමයි පළාත් සභා. අවුරුදු 30ක් අපේ හිස ගිනිගෙන තිබුණා. ඉස්පාසුවක් තිබුණෙනෑ. එහෙත් දැන් අපිට අෑත පේනවා. අපි පළාත් සභා ප්‍රශ්නය දකින්නේ රට දෙකඩ කරන සියුම් න්‍යායාත්මක වැඩපිළිවෙළ හැටියට.


අපි පළාත් සභා ගැන රට දැනුවත් කරන්න අවශ්‍යයි. සිංහල මිනිසුන් කියනකොට අපේ ඇත්තො කියන්නේ ඒක ජාතිවාදය කියලයි. නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය යාපනේ එකම සිංහල මනුස්සයෙක්වත් පදිංචි කරලා නෑ. යාපනේ ජීවත්වූ අපේ මිනිසුන්ට ඒ අයිතිය ලබා නොදෙන්නේ ඇයි?


සිංහලයෝ පදිංචි කරවන්න එපා කියන ඇමැතිවරුන් ඉන්නවා. පළාත් සභා කියන්නෙ මහා විපතක් බව මා ඔබ හැමදෙනාටම කියනවා. අපි ඒ විපතෙන් මිදීමයි පළමුව කළ යුතු වන්නේ.

සංඝ සමුළුව අමතා මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන, නාගොඩ අමරවංශ, අතුරලියේ රතන යන හිමිවරුද ජාතික නිදහසේ පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාද මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි මහතාද කතා පැවැත්වූහ.

Gossip Lanka Hot News Previous News Archive