"ලෝකයේ සිදු වන ගබ්සා මරණවලින් හරි අඩක් සිදු වන්නේ ආසියාවේ" විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක
ලොව පුරා සැම විනාඩියක දී ම කාන්තාවන් 380ක් ගර්භණී තත්ත්වයට පත් වනවා. එම කාන්තාවන් ගෙන් 190ක් අනපේක්‍ෂිත හෝ සැලසුම් නො කළ හෝ ගර්භණීභාවයකට මුහුණ දෙනවා. එසේ ම එම කාන්තාවන් ගෙන් 110කට ගර්භණිභාවය හා සම්බන්ධ සංකූලතා ඇති වෙනවා. මෙයින් කාන්තාවන් 40 දෙනෙක් අනාරක්‍ෂිත ගබ්සා කරගැනීම්වලට යොමු වෙනවා.
මෙයින් එක කාන්තාවක් ගර්භණි භාවය නිසා ඇති වන සංකූලතාවලින් මරණයට පත් වෙනවා" යනුවෙන් අවිස්‌සාවේල්ල මහ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ මංගල දිසානායක මහතා පැවසී ය. පසුගිය දා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස් දැක්‌වූ වෛද්‍ය දිසානායක මහතා, "ගබ්සාව කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්.
ඉන් එකක් ස්‌වාභාවිකව සිදු වන ගබ්සාව. දෙවැන්න පළපුරුදු වෛද්‍යවරයකු විසින් හෝ වෛද්‍යවරයකු නො වන පුද්ගලයකු විසින් කරනු ලබන අනවසර ගබ්සාව. සාමාන්‍යයෙන් පළපුරුදු වෛද්‍යවරයකු වුවත් නුසුදුසු ස්‌ථානයක ගබ්සාවක් සිදු කළොත් එය අනාරක්‌ෂිත ගබ්සාවක් යනුවෙන් හැඳින්විය හැකියි. ලෝකයේ ගබ්සාවලින් සියයට 50ක් සිදු වන්නේ ආසියාවේ.
ශ්‍රී ලංකාවේ මාතෘ මරණවලට අනාරක්‍ෂිත ගබ්සා ද හේතු වනවා. මෙයින් බහුතරයක් ගබ්සා නිසා අධික ලෙස රුධිරය වහනය වීමෙන් සිදු වූ මරණ. රෝහල් සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන කරුණක් තමයි රෝහල්ගත වන කාන්තාවන් ගෙන් සියයට 12 සිට 16 දක්‌වා ප්‍රතිශතයක් රෝහල්ගත වන්නේ කිසියම් අනාරක්‌ෂිත ගබ්සාවක් නිසා හටගත් සංකූලතාවලින්. මෙයින් සියයට 16ක් පමණ රෝහල්ගත වෙන්නේ ගබ්සාවක් නිසා ඇති වූ කිසියම් අහිතකර ප්‍රතිඵලයක් නිසයි. නිදසුනක් ලෙස ගර්භාෂය සිදුරු වීමක් පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකට ගොදුරු වූ කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් ලැබුවත්, වසර ගණනාවක් පවතින අධික වේදනාවක් වැනි අහිතකර තත්ත්ව ඇති වෙන්න ඉඩ තිබෙනවා. අනාරක්‌ෂිත ගබ්සාවලට යොමු වූ කාන්තාවන් දිවි නසා ගැනීමටට ද යොමු වන බැව් අනාවරණය වී තිබෙනවා. ඒ වගේ ම මේ අය ගෙන් බහුතරයකට මානසික ආබාධ ඇති වූ බවටත් වර්තා වී තිබෙනවා.
අනවසර ගබ්සාවලට යොමු වන කාන්තාවන් ගෙන් සියයට 90ක් විවාහක කාන්තාවන්. සියයට 10ක් පමණ අවිවාහක කාන්තාවන්. මෙයින් සියයට 80ක් පමණ අවුරුදු 20ක් වැනි තරුණ වයසේ අයයි. ශ්‍රී ලංකාවේ උපදින දරුවන් ගෙන් 1/3ක් පවුලේ තුන්වනි දරුවා වීමත් මොවුන් අනපේක්‍ෂිත ගැබ් ගැනීමකින් උපන් අය වීමත් විශේෂත්වයක්. එයට හේතුව මේ දරුවන් ගේ වැඩිහිටියන් උපත් පාලන ක්‍රම අනුගමනය නො කිරීම. මේ අය ගෙන් සියයට 50ක් හොඳ අධ්‍යාපන මට්‌ටමක් තිබෙන අය.
මෙයින් සියයට 80කට පමණ ගබ්සා කිරීමෙන් පසු අහිතකර තත්ත්ව ඇති වීම පිළිබඳව අවබෝධයක් තිබෙනවා. පළාත් වශයෙන් ගත් විට බහුතර ගබ්සා ප්‍රමාණයක් සිදු වන පළාත් ලෙස ඌව සහ සබරගමු පළාත් හඳුන්වන්න පුළුවන්. අඩුවෙන් ම ගබ්සා සිදු වන පලාතක් ලෙස බස්‌නාහිර සහ දකුණු පළාත පෙන්වා දෙන්න පුළුවන්. මෙහි තිබෙන ඉතා ම භයංකර තත්ත්වය වන්නේ ගබ්සා සිදු කරන පුද්ගලයන් ගෙන් සියයට 58ක් නුපුහුණු සාමාන්‍ය පුද්ගලයන් වීම. සියයට 18ක් පමණ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්. මොවුන් අනවසර ගබ්සා සිදු කරන පුද්ගලයන් අතරට අයත් වෙනවා.
ශ්‍රී ලංකාවේ තරුණ පවුල්වලින් සියයට 62ක් පමණ දෙවැනි දරුවා ගෙන් පසු දරුවන් අනවශ්‍ය අයයි. මොවුන් ගෙන් සියයට 40ක් පමණ සාම්ප්‍රදායික උපත්පාලන ක්‍රම අනුගමනය කරන අයයි." යනුවෙන් පැවසී ය.