අතුල අධිකාරිගේ ජීව්තයට අමායා එකතු වුණු බව රහසක් නොවෙයි. ඒත් අතුලට අමායාව හමු වුණේ කොහොමද කියන දේ ගැන වගේම සමිතා අතුලගෙන් වෙන් වුණේ අමායා නිසාද යන දේ ගැන කවුරුත් දන්නේ කටකතා වලින් කියැවුණු දේවල් විතරයි.
ඒ කටකතාවල ඇත්ත නැත්ත දැන ගන්න අමායා සහ අතුලව මුණ ගැහුණා. ඒ දෙදෙනාම කතා කළා. ගෙවුණු එදා දවස ගැන වගේම ගෙවෙන අද දවස ගැනත්.
අමායාට අතුල අධිකාරි මුණ ගැහෙන්නේ කොයි කාලෙද?
එතකොට මට වයස 17යි. අතුලගේ ඊමේල් කවිකාරි කියන ගීතය වීඩ්යෝ එකේ ඩාන්සර් කෙනෙක් විදියට මම එකතු වුණා. එතැනදී තමයි මුලින්ම හªන ගත්තේ. පස්සේ අතුලගේ තවත් වීඩ්යෝ එකක මේන් ඩාන්සර් විදියට එකතු වුණා. ඒ කාලේ තමයි අපි හොඳට දැන හැඳින ගත්තේ.
ඒ කියන්නේ බොහෝම ඉක්මනට අතුලත් අමායාත් හොඳ යාලුවෝ වුණා?
අපි ඩාන්සින් ප්රැක්ටිස් කළේ එකට. අපේ ගෙදර අයත් අතුල එක්ක කිට්ටු වුණා. අපි අවුරුද්දක් දෙකක් විතර හොඳ යාලුවෝ වගේ හිටියා.
මේ කාලෙදී සමිතාවත් හදුනා ගන්න ඇති.
වීඩ්යෝ එකේ ඩාන්සින් ප්රැක්ටිස් කළේ අතුලගේ ගෙදර. සමිතා අක්කත් සමහර වෙලාවට ඇවිත් අපි එක්ක ඩාන්ස් කරනවා. සමිතා අක්කත් මාත් එක්ක ගොඩක් යාලුණා.
අතුල සමිතා අතර විරසකයක් තියෙනවා කියලා ඒ කාලේ අමායාට දැනුණද?
විරසකයක් නෙමෙයි" මොකක්දෝ වෙනසක් තියෙනවා කියලා හිතුණා. ඒත් එහෙම දෙයක් ඇඟවෙන විදියට අතුල කතා කළේ නැහැ.
අතුල අමායාට ආදරය කරද්දී අමායාගේ ප්රතිචාරය වුණෙු මොකක්ද?
අතුලමයි මට ඒ යෝජනාව ගෙනාවේ මට අකමැති වෙන්න හේතු තිබුණේ නැහැ.
ඒත් ආරංචිය පැතිරුණේ අමායා නිසා අතුල සමිතා වෙන් වුණා කියලා?
මම එයාලව හදුන ගනිද්දීත් එයාලා අතර මොකක් හරි ප්රශ්නයක් තිබුණා. ඒ දේවල් ගැන විස්තර කරලා කියන්න මම දන්නේ නැහැ. ඒත් මම හොඳටම දන්නවා ඒ දෙන්නා වෙන් වුණේ මම නිසා නෙමෙයි කියලා.
අතුලගෙත් අමායාගේත් වයස පරතරය වැඩියි කියලා හිතුණේ නැද්ද?
මම හිතන්නේ නැහැ අතුලට වයස පේනවා කියලා. ඒ දවස්වල එයා කොණ්ඩේ කපලා හිටියේ එතකොට තවත් තරුණ පාටයි. මම කොහොමත් මගේ වයසට වඩා වැඩිමල් පාටයි. ඒ නිසා අපේ වයස්වල ලොකු වෙනසක් පේන්නේ නැහැ කියලා මම විශ්වාස කරනවා.
අමායාගේ ගෙදරින් අතුලට කැමැති වුණාද?
මුලින් අකමැති වුණා. අතුල දික්කසාද වුණු කෙනෙක් නිසා. පස්සේ මම ගෙදර අය එක්ක කතා කරලා තේරුම් කළා. අතුල නරක කෙනෙක් නෙමෙයි කියලා. එයා ගොඩක් ඉවසීම තියෙන කෙනෙක්.
අතුලගේ ගෙදර ප්රතිචාරය?
කවුරුත් එයාට විරුද්ධ නැහැ. සමහර විට එයා වයසින් වැඩි කෙනෙක් නිසා බලපෑම් කළාට වැඩක් වෙන්නේ නැහැ කියලා හිතුණු නිසා වෙන්න ඇති.
දෙන්න විවාහ වෙන්නේ?
2010 අවුරුද්දේ. අතුලට දික්කසාදය ලැබුණට පස්සේ.
අමායා දැන් අම්මා කෙනෙක්?
අපිට ඉන්නවා පුංචි දූවෙක්. එයාට තවම මාසයයි. එයාගේ නම අයින්ධ්යා අධිකාරි.
අතුල සමිතා දෙන්නාගේ දූව එක්ක අමායා කොයි තරම් සමීපද?
එයා මගේ පණ වගේ. මගෙත් එක්ක ගොඩක් සමීපයි. අපි යාලුවෝ වගේ මගෙත් එක්ක එයා ගොඩක් දේවල් කතා කරනවා.
අලූත් ජීවිතේ ගැන අමායා සතුටුද?
අතුල ඇත්තටම නිවිච්ච චරිතයක්. එයා එක්ක ජීවත්වෙන්න හරි ලේසියි. කවදාවත් නීති දන්නේ නැහැ. එයාට ඕන දේ තේරුම් අරගෙන ජීවත් වෙද්දී හරි සැහැල්ලූවෙන් ජීවත් වෙන්න පුළුවන් .
සමිතා අමායාගේ කිට්ටු හිතවතියක්ද?
අදටත් අපි හොඳ යාලුවෝ එයා ගොඩක් හොඳ යාලුවෙක්.
මේ සිදූවිම් ඔක්කොම එක්ක අමායා දැන් නිරූපණ ක්ෂේත්රයෙන් ඇත් වෙලා?
මම දැන් දූවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ නිසා දැන් නිරුපණ කටයුතුවලින් ඈත් වෙලා ඉන්නේ. ඒත් මට ගැළපෙන හොඳ වෙළෙඳ දැන්වීම් වගේ දේවල් ඉදිරියේදී භාර ගන්න කැමැතියි.
අමායා එහෙම කියද්දී අතුල අධිකාරි අලූත් ජීවිතේ ගැන කතා කළේ මේ විදියට.
අතුල ජීවිතේ වෙනස් කර ගන්න තීරණය කළේ ඇයි?
ජීවිතේදී අපිට දූක හිතෙන වෙලාවල් තියෙනවා. ජීවිතේට ප්රශ්න එනවා. කාලෙන් කාලෙට හිතෙන දේවල් වෙනස් වෙනවා. ඒ විදියට මගේ ජීවිතෙත් වෙනස් වුණා.
දික්කසාද වෙද්දී දරුවන්ට පලපෑමක් වෙයි කියලා හිතුණේ නැද්ද?
දික්කසාදය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. දරුවන් එක්ක තිබුණු බැඳීම දික්කසාදය නිසා නැති වෙලා නැහැ. දරුවෝ වයසින් ලොකු වෙද්දී මේ දේවල් තේරුම් ගනිවී.
එදා ගත කරපු ජීවිතේ අද ගත කරන ජීවිතේට වඩා වෙනස්ද?
එදත් මම සතුටින් හිටියා. අදත් මම සතුටින් ඉන්නාවා. මගේ ජීවිතේ නියම කාලෙදී මට ගොඩක් දේවල් ලැබුණා. ඒ හැමදේම එක්ක මම සතුටින් ඉන්නවා.
අතුලට තිබුණු ජනප්රියත්වය දැන් අඩුයි කිව්වොත් ?
මම දැනට ගීත ගායනා පැත්තෙන් ඈත් වෙලා ඉන්නේ. සංගීත කණ්ඩායමේ කටයුතු තමයි වැඩිපුර කරන්නේ. ඒ දේවල් එක්ක මම රසිකයින් අතරට ආවේ අඩුවෙන් ඒ සිනා ජනප්රියත්වය ගැන හරියට කියන්න අමාරුයි.
නෙලූෂා සිල්වා / රිවිර