නුදුරේදී ශ්‍රී ලංකාව ලොව බැබැළෙන රටක් හා සැණකෙළි භූමියක් - Astrologer Manjula Peiris

ඡ්‍යොතිර්වේදී මංජුල පීරිස්
 ලෝක විනාශයේ භීතිය ලොව පුරා පැතිර ගියේ 2012 වසරට එළැඹීමත් සමඟයි. ඒ 2012 දී ලෝකය විනාශ වී යන බවට මායාවරුන්ගේ දින දර්ශනය ඇතුළු පළවී තිබුණු විවිධ මතිමතාන්තර නිසාවෙනි. 12.12.12 සහ 2012.12.21 දැන් පසුවී ඇති නමුත් තවමත් ලෝක විනාශයේ භීතිය පහව ගොස් නැති තරම්. සමහර ඡ්‍යොතිශාස්ත්‍රඥයන්ගේ මතය වූයේ මේ කාලයේ දී සිදුවන විශේෂිත ග්‍රහ පිහිටීම ලෝක විනාශයක් සිදු නොවුණත් ඒ හා සමාන විනාශයක් සිදු වනු ඇති බවයි. එම නිසා තවමත් විනාශයේ භීතියෙන් වෙළී සිටින ජනතාවගේ හිත සුව පිණිස ප්‍රවීණ ඡ්‍යොතිර්වේදියකුගේ අදහස් ගොනු කරගැනීම සුදුසු යැයි සිතූ නිසා 2010 අප්‍රේල් 11 දින සිළුමිණ පුවත්පතට නිව්යෝර්ක් නුවර ගංවතුර පිළිබඳ ප්‍රථම විශ්මිත අනාවැකිය පළ කළ ඡ්‍යොතිර්වේදී මංජුල පීරිස් මහතා සමඟ සිදු කළ විමසුමකි මේ...


කාලාන්තරයකට පසු සිදුවන විශේෂිත ග්‍රහ පිහිටීමක් මෙම මස 23 වැනිදා පස්වරු 5.27 සිදුවීමට නියමිතයි. ඒ රාහු සෙනසුරු සමඟ යෝග වී තුලා රාශි ගතවීමයි. මෙදා තත්කාල කේන්ද්‍රයේ සෙනසුරු සහ රාහු වායෝ රාශිගතව සිටින අතර ග්‍රහලොවේ සෙන්පතියා සහ යුද දෙවියා වන අඟහරු ස්වකීය උච්ච භාවය වන මකරේ රජ වේ. එයින් අදහස් වන්නේ වායුවට හා ගින්නට අධිපති ග්‍රහයා රජ වන බවයි. තුලා රාශි ගත වීමෙන් ඇතිවන මෙම ග්‍රහ පිහිටීම විශේෂයෙන්ම වැරදි කළ පුද්ගලයන්ට දඬුවම් ලැබෙන, අපරාධ කළ පුද්ගලයන්ම සොයා ගොස් ටොකු අනින කාල වකවානුවක් බවට පත් වෙයි. කුම්භ ලග්නය හිමි ශ්‍රී ලංකා කේන්ද්‍රය තුලා රාශියේ නවවැනි ස්ථානය හෙවත් භාග්‍යස්ථානයේ මෙම ග්‍රහ පිහිටීම සිදුවීම නිසා මෙයින් මේ රාශිය පීඩාවට පත්වන බවක් පෙන්නුම් කරයි.

මේ අනුව මුළු රටේම ජනතාවගේ කතාබහට ලක්වන විශේෂිත වූ සිදුවීමක් ඉදිරියේ දී සිදුවීමට නියමිතය. පූජ්‍ය සමාජයේ විපරිත චර්යා ඇතිවීමට ඉඩකඩ තිබෙන අතර විශේෂයෙන්ම රටේ යම් යම් ක්ෂේත්‍ර සම්බන්ධ වගකිවයුත්තන් ඉතාමත් පරිස්සමෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුතුයි.

රාහු යනු ග්‍රහ ලොවේ සිටින චායා ග්‍රහයෙක් වන අතර රාහුගේ විශේෂත්වය වන්නේ සිටින රාශියේ සිට ආපස්සට ගමන් කිරීමයි.

මෙම ග්‍රහ පිහිටීම සාමාන්‍යයෙන් වසර එකහමාරක් පමණ තිබෙන අතර දෙසැම්බර් 23 සිට වසර 2 කාලයක් විහිදී යයි. රාහු නිසා ඉපදෙන යෝගයක් වන්නේ ‘කාල සර්ප යෝගයයි.’ එම යෝගයෙන් ඉපදෙන පුද්ලයන් ගේ ජීවිත තම මව් බිමට වඩා විදෙස් රටක බොහෝ සැප සම්පත් ලබමින් වාසනාවන්ත වනු ඇත. මේ රාහු මාරුව රටට මෙන්ම මුළු ලෝකයටම එක්තරා ලෙස බලපෑමක් සිදුවන කාලයක් ලෙස කියන්නට පුළුවනි.

මින් අදහස් වන්නේ පසුගිය කාලය පුරා සමහර විට තවමත් ලොව පුරා විසිර සිටින සමහර ජන කොටස් තුළ තිබූ ලෝක විනාශය වැනි විනාශයන් ගැන නොවේ. යම් යම් විනාශකාරී සිදුවීම් සිදුවූවත් දැහැමිව, සාධාරණව ජීවත් වන පුද්ගලයන් මොන ග්‍රහ පිහිටීමකදී හෝ ග්‍රහ මාරුවකදී වුව ද බිය විය යුතු නැත. මේ කාලය තුළදී ලොව ආන්දෝලනාත්මක චරිතවලට මේ ග්‍රහමාරුවේ විපාක ඵල දෙන අයුරු අපට ඉදිරියේ දී දැකගත හැකි වේවි. මෙය විශ්මිත අනාවැකියක් වනු ඇත. එමෙන්ම දෙසැම්බර් 31 දක්වා මේ කාලවකවානුව ස්වාභාවික විපත් සිදුවීමේ අවදානමක් ඇති කාලයක් වන අතර සුළඟ, ජලය, ගින්දර ආශ්‍රිතව වර්ෂාව, ගංගා පිටාර ගැලීම් සිදුවිය හැකිය.

මේ වකවානුවේදී සහ ඉදිරි වසර 2ක කාලය තුළදී සිදුවන මෙවැනි ස්වාභාවික විපත් හෝ විනාශකාරී සිදුවීම් ලාංකේය ජනතාව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවට මා තරයේ වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකාව ලොව අනෙක් රටවල් සමඟ සසඳා බලන කල ඉතා වාසනාවන්ත රටක් ලෙස සඳහන් කළ යුතුයි. පසුගිය කාලයේ ඉන්දියාවේ ඇතිවූ කුණාටුව ලංකාව දෙසට එමින් තිබුණත් නැවතත් එය ඉන්දියාවටම හැරී ගියා. එය අපේ රටේ වාසනාව ගැන හොඳම නිදසුනක්. ලංකාව සර්ව ආගමික රටක් වන අතර ලොව අන් හැම රටකටම වඩා මෙරට ජනතාව තම තමන්ගේ ආගමික වතාවත් කරමින් ආගමානුකූලව තම දහමට අනුව ජීවත් වන පිරිසක්. ඒ නිසාම ඒ සර්ව ආගමික ආශිර්වාදය එකතු වී ඇතිවන විශ්වශක්තිය අපට නොපෙණුනත් එම ආශිර්වාදය සහ ශක්ති බලවේගය අපේ රට වටා වෙලාගෙන තිබෙනවා. පින් කළ ජනතාවක් රටේ සිටින නිසා දරුණු විපත්, විශාල ජීවිත හානි සිදු නොවන බවට ස්ථිරයි.

දශක තුනක යුද ගිනි දැල් නිවන්නට දියසෙන් කුමාරයෙක් වැනි නායකයකු පහළ වීමත් එතුමාගේ පාලන කාලය තුළදී මේ කුරිරු යුද්ධය ජයගැනීමට ලැබීමත් ලාංකිකයන් වශයෙන් අප ලද භාග්‍යයක්. ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයේ දී ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන සඵල වන අතර ඒ සඳහා නායකතුමන් ඇතුළු පාලක පක්ෂයට පක්ෂ, පාට, ජාති, ආගම් බේදයෙන් තොරව ලාංකිකයන් ලෙස සහය දිය යුතුයි.

ශ්‍රී ලංකාව තව තවත් ලස්සන රටක් වන අතර එය නුදුරේදී ම ලොව බැබැළෙන රටක් හා සැණකෙළි භූමියක් බවට පත්වීමේ සුවිශේෂී වාසනාවක් තිබෙනවා. එමනිසා මේ කාලයේදී මමත්වයෙන් තොරව අපේ ඉදිරි පරපුරට මෙම සැණකෙළි භූමිය හිමි කර දෙන්නට කටයුතු කරමින් ජීවත් විය යුතුයි.

උපුටා ගැනීම  - සිළුමිණ 

Gossip Lanka Hot News Previous News Archive