ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය - Astrologer, Sumanadasa Abeygunawardena

ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන
කෝටියක් දෝෂ භංග කරවන ග්‍රහ යෙදුමක් සිදුව ඇති මෙවැනි අවස්ථාවක ලෝක විනාශයක් පිළිබඳව මේ කෙරෙන කතා පට්ටපල් බොරු යැයි ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය ගෙනහැර දක්වමින් අබේගුණවර්ධන මහතා මේ ප්‍රකාශය කෙළේය. මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට පළවී ඇති මතය බොරු කරමින් 22 වැනිදාටත් නියතයෙන්ම හිරු පායන බව ද අබේගුණවර්ධන මහතා කීය.


ලෝක විනාශයක් පිළිබඳව ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම ඇති මතවාද ගැන මෙරට ප්‍රවීණ ඡ්‍යොතිෂඥයෙක් ලෙස ඔබ කියන්නේ කුමක්ද?


මොනවා කිව්වත් හැම මිනිසකුගේම සිත තුළ මේ ගැන කුකුසක් තියෙනවා. සෙනසුරු, රාහු, කුජ ලෝකයට මහා විපත්, භූමිකම්පා ඇති කළා. මහා විනාශ ඇති කරන ග්‍රහයෝ තුන්දෙනා මේ වෙලාවේ සුබවාදීව ඉතාම බලගතුව ඉන්නවා.

අඟහරු උච්චව මකර රාශියේ ඉන්නවා. රාහු නීච භංග රාශියෝග බලයේ ඉන්නවා. සෙනසුරු උච්චව ඉන්නවා. මෙහෙම ග්‍රහ තත්ත්වයක් තියෙන අවස්ථාවක ඔය කියන ලෝක විනාශය ආවොත් ඡ්‍යොතිෂය සම්පූර්ණ බොරුවක් වෙන්න ඕනෑ. මෙහෙම එකක් වෙන්න කොහොමත් විදියක් නැහැ ඡ්‍යොතිෂ මතය අනුව. මායාවරු ගහපු කැලැන්ඩරයේ අවුරුදු 5125කින් එහාට මේ දෙසැම්බර් 21න් එහාට නැති එකනේ මේ වෙලාවේ ලෝක අවසානයකට අල්ලාගෙන කතා කරන්නේ. ඒගොල්ලන්ට අඩුපාඩුවක් වුණාද අතුරු අන්තරාවකට මුහුණ පාල එතැනින් එහාට ලියා ගන්න බැරි වුණා ද අපි දන්නේ නැහැ. ඒ මොනවා වුණත් මේ වෙලාවේ ලෝක විනාශයක් වෙන ග්‍රහයෝගයක් නැති බව මා පැහැදිලිව කියන්න ඕනෑ.

මේ ලෝක විනාශ කතාව ගැන මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මිනිස්සු කතාවෙන වෙලාවක්?


මෙය අන්තර්ජාතික අන්තර්ජාල කුමන්ත්‍රණයක් විදියටයි මා දකින්නේ.


ඡ්‍යොතිෂයට අනුව මීට පෙරාතුව සිදුවුණ විපත් ගැන අපි කතා කොට තියෙනවා. සුනාමිය ගැනත් එය සිදුවන්න පෙර අපි කතා කළා. අපිට සුනාමිය කියලම හරියට තෝරා බේරාගන්න බැරිවුණා. නමුත් මහා විපතක් කියා එදා අපි කිව්වා.

සියල්ල කටකතා

විපතක් සිදුවෙන්න නම් මේ ග්‍රහලෝකේ ග්‍රහයෝ දොළොස් දෙනා අතර විපත් ගෙන දෙන ග්‍රහයන් ඉන්නවා. ඒ තමයි සෙනසුරු, රාහු, කුජ ග්‍රහයෝ. ඊගාවට කේතු ග්‍රහයා. ඒගොල්ලො තමයි මේ විපත් ගෙනදෙන්නේ. අඟහරු ග්‍රහයා මේ මහා භූමි කම්පාවලට හේතුකාරකයි. සුනාමිය වගේ භූමිය සම්බන්ධ වෙලා ඇතිවන සියලු විපත්වලට අඟහරු ග්‍රහයා තමයි වගකියන්නේ.

අඟහරු හෙවත් කුජ ග්‍රහයා මේ මාසේ 18 වැනි අඟහරුවාදා පස්වරු 3.11ට තමන්ගේ උච්චභවනය වන මකර රාශියට ගිහින් උච්චත්වයට පත්වෙනවා. ඒ අනුව ක්‍රිස්තුª වර්ෂ 2011 ක් වූ ජූනි 6 වැනිදා රාහු කේතු ග්‍රහයෝ නීචත්වයට පත්වුණා. ඒ ග්‍රහයෝ නීචත්වයට පත්වීම අනුව පසුගිය කාලයේ විවිධ කාන්තා ඝාතන, බාලාපරාධ ඇතුළු හිරිකිත දේවල් හුඟාක් සිදුවුණා.

මේ අඟහරුගේ උච්චත්වයත් එක්ක රාහු කේතුගේ නීචත්වයෙන් ඇතිවන අසුබ තත්ත්වය අහෝසි වෙනවා. ඒක මේ 18 වැනිදා සිදුවෙනවා. අපට අපල ගෙන දෙන නම ඇහුවම බයවෙන සෙනසුරු ග්‍රහයා කවුරුත් දන්න මේ සෙනසුරු ග්‍රහයා මේ මොහොතේ ඉන්නේ උච්චව. සෙනසුරු ග්‍රහයා මේ අවුරුද්දේ අගෝස්තු 4 වැනි සෙනසුරාදා උදේ 8.44ට උච්චත්වයට පත්වුණා. එයා තාමත් උච්චව ඉන්නේ. 2014 දෙසැම්බර් 2 දක්වාත් උච්චව ගමන් කරනවා.

ඡ්‍යොතිෂයට අනුව අපල ගෙන දෙන විපත් ගෙන දෙන කරදර ගෙන දෙන බාධා ගෙන දෙන අවුල් වියවුල් ගෙන දෙන ඒ ග්‍රහයෝ හතරදෙනාම ඉතා බලගතුව ඉන්නවා.

මේ අනුව ඔය කියන විදියේ ලෝක විනාශයක් කිසිසේත්ම ඇතිවෙන්න ඉඩක් නැහැ අපි දන්න ඡ්‍යොතිෂ්ශාස්ත්‍රය අනුව.


ඇත්තෙන්ම ග්‍රහයන්ගේ තත්ත්වයන් අනුව ග්‍රහ මාරු, ග්‍රහ දෘෂ්ටි, සූර්ය ග්‍රහණ, චන්ද්‍ර ග්‍රහණ අනුව යම් යම් බාධා කරදර ජනතාවට ගෙන දෙන්න පුළුවන්. නමුත් බලගතු ආකාරයෙන් උදාහරණයක් විදියට කිව්වොත් අපි 2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි වගේ විපතකට මුහුණ දුන්නා. ඒ තරම්වත් ලොකු විපතක් මේ වෙලාවේ සිදුවෙන්න විදියක් නැහැ. බරපතළ ගනයේ දෙයක් කිව යුතු තරමේ දෙයක් වෙන්න විදියක් නැහැ. ලෝක විනාශයක් කියන්නේ මේ ලෝකෙ කෝටි 700කට වැඩි ජනතාව මුළුමනින් අළු දූවිලි වෙලා යන්න ඕනැනේ. මේක මුළුමනින් මුසාවක්.

2013 2012 ට වඩා සුබයි


දවස් තුනක් ඉර පායන්නෙ නැති කතාවකුත් පැතිරෙනවා.

මේ කටකතා ජනතාව අපහසුතාවට පත් කරන්න ගොතපු ඒවා. මම එහෙම කියන්නේ මම ඡ්‍යොතිෂවේදියෙක් විදියට. අප ලබන අවුරුද්දට සුබ පැතුම්පත් හැම දෙයක්ම සැලසුම් කරල තියෙන්නේ.

මේ කියන විදියටම 21 වැනිදාත් ලෝකෙ පැවැත්ම එහෙමම ඉස්සරහට යනවා. විනාශයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රටේ ග්‍රහ තත්ත්වය ගැන සිළුමිණ ඇතුළු පුවත්පත්වලට මම අනේකවාරයක් සම්මුඛ සාකච්ඡා දීල තියනවා. ඒ මෙතෙක් මං කියපු හැම අනාවැකියක්ම හරියටම නිවැරැදි වුණා. බලගතු වේලාවල අපි කියනවා විය හැකි දේ. දේශපාලන අනාවැකි හරියටම මං කිව්වා.

ඒ වගේ මෙතැනදි කිව යුතු තරමේ ලොකු දෙයක් වෙන්න ඉඩක් නැහැ. ඔය ඉර පායන්නේ නැති කතා පට්ටපල් බොරු විදියට තමයි මට පෙනෙන්නේ. මේක කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් විදියට තමයි මට පෙනෙන්නේ.

නව සංවර්ධන යුගයක් උදාවෙලා මේ රටේ ජනතාව සතුටින් කා බී සුබ නව වසරකට මුහුණ දෙන්න බලාපොරොත්තු සහගතව සිටිනවා. ඒක නවත්තන්න කරන කුමන්ත්‍රණයක් විදියට තමයි මම මේ කතා දකින්නේ.

ලෝකය පුරාම මේ කතාවලින් සැලුන සුළු පිරිසකුත් ඉන්නවා..?


එහෙම සැලෙන්න කිසිම හේතුවක් නැහැ. අපි දකින ග්‍රහ තත්ත්වය අපේ රටට විශේෂයෙන් නෙමෙයි ලෝකයම බලල තමයි අපි කියන්නේ. රටක් වෙනකොට නගරයක් වෙනකොට ගමක් වෙනකොට සෘතු වෙනස් වීම් අනුව පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒවා අනාදිමත් කාලයක් තිස්සේ සිදුවුණු දේවල්. ඒවා ඇරෙන්න ඔය කියන ලෝක විනාසයක් වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ.


ඔබතුමා හිතන විදියට ලෝක විනාශයක් වෙන්න ග්‍රහයෝ කොහොම පිහිටන්න ඕනෑ කියලද හිතන්නේ?




මේ ප්‍රශ්නය අහපු එක හොඳයි. ඔය කියන ලෝක විනාශයක් වෙන්න නම් රාහුගේ නීචත්වය එහෙමම තියෙන්න ඕනෑ. කේතුගේ නීචත්වයත් එහෙමම තියෙන්න ඕනෑ. ඒ වගේම කුජ හා සෙනසුරු ග්‍රහයන් උච්ච නොවී නීච තත්ත්වයෙන් ඉන්න ඕන.

කුජගේ උච්චත්වයත් කේතුගේ උච්චත්වයයි හේතුකොට ගෙන ඕනෑම දෝෂයක් භංග කරන ග්‍රහ යෙදුමක් මෙතන යෙදී තිබෙනවා. ඒක විශේෂ හොඳ තත්ත්වයක්. ඕනෑම දෝෂයක් අහෝසි වෙලා යනවා. කෝටියක් දෝෂ භංග කරන භංග වෙන භංග කරවන යෙදුමක් මෙතන ඇවිත් තියෙනවා.

මේ වසරේ අවසන් ඡායා චන්ද්‍රග්‍රහණය සිදුවූයේ නොවැම්බර් මාසේ 28 වැනිදා. ඒක සිදුවුණේ වෘෂභ රාශියෙන්. එදා පැවැති නැකත නම් කැති නැකතේ තුන්වැනි පාදය. ඒක වුණේ නොවැම්බර් 28 වැනිදා රාත්‍රි 2.04 වෙලාවට. මේ වසරේ අවසන් වරට වුණ ඡායා චන්ද්‍රග්‍රහණයෙන් වත් එහෙම බලගතු අපල තත්ත්වයක් කිසිසේත්ම පෙන්නුම් කරන්නේ නැහැ.

මේ ගෙවී යන 2012 වසරට වඩා 2013 වසර හැම අතින්ම සුබ වසරක් වෙනව කියලයි මේ රටේ ජනතාවට මා අවධාරණයෙන් කියන්නේ.

ඡ්‍යොතිෂයේ කොහේ හරි කියවෙනවද ලෝක විනාශයක් වෙන්න තියෙන අවස්ථාවක් ගැන?


නැහැ. එහෙම කොහේවත් කියැවිලා නැහැ. අපේ මේ ඡ්‍යොතිෂ ශාස්ත්‍රයේ අර ප්‍රංසයේ ශාන්ත රෙමි ප්‍රදේශයේ එක්දාස් පන්සිය ගණන්වල ජීවත් වූ ලෝකයේ ලොකුම අනාවැකි කියන්නා වූ නොස්ට්‍රාඩාමුස්වත් මෙහෙම ලෝක විනාශයක් ගැන කියා නැහැ. අරාබිකරයේ සිදුවන සුළු දේවල් ගැන කියා තිබුණත් එයා ලෝක විනාශයක් ගැන කියල නැහැ. ඔහු කියපු සැබෑවුණ අනාවැකි ගැන කවුරුත් දන්නවනේ.

මේ ලෝක විනාශ කතා ආරම්භ වුණේ අන්තර්ජාලයෙන්. චිත්‍රපට ලෝක විනාශය ගැන නිපදවා තියෙනවා. මේ පුංචියට පටන්ගත් ලෝක විනාශ කතාව ලෝකය පුරාම එක්තරා අන්දමක ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ මාධ්‍ය කලඑළිදැක්වීම් හරහා. මේක අද ලෝකයේ වැඩිම අවධානය යොමුවන කරුණු දෙකතුනෙන් එකක් වෙලා ඒ කියන දෙසැම්බර් 21 දිනය ළංවීමත් සමඟ. දකුණු ආසියාවේ කටකතාවලට රැවටෙන වැඩිම පිරිස ඉන්නෙ මා හිතන්නේ මේ අපේ රටේ. ලබන අවුරුද්දේ පළමුවැනි කාර්තුව නිම වෙන කොට මේ රටේ සංවර්ධනයේ මහ පෙරැළි කිහිපයක් වෙනවා.

ලෝකයේ මුල්ම දින දර්ශනය හදපු අයනේ මායාවරු කියන්නේ. ඔවුන් ලෝකෙ දක්ෂ අනාවැකි කාරයෝ වගේම දක්ෂ ගණිතඥයෝ. ඒ අය ඉර නඟින්නේ කීයටද ඉර බසින්නේ කීයටද කියල නිශ්චිතවම කියාපු උදවිය. අහවල් ග්‍රහය අහවල් වෙලාවට අහවල් රාශියට මාරුවෙනව කියන එක ටක්කෙට කියාපු උදවිය. අහවල් සූර්යග්‍රහණය අහවල් චන්ද්‍රග්‍රහණය අහවල් දවසේ අහවල් රාශියේ දී සිදුවෙනවා කියල නිවැරැදිවම කියූ අය.

මේ අය තාරකා ශාස්ත්‍රය හා ඡ්‍යොතිෂය ගැන ලොකු දැනුම් සම්භාරයක් තිබුණ අය. ඔවුන් වෙන ග්‍රහ ලෝකවල ජීවීන් එක්ක සබඳතා පැවැත්වූවා කියලත් කියනවා.
දෝෂ භංගකරන ග්‍රහ යෙදුමක්

වෙන ග්‍රහ ලෝකවල ජීවීන්ගේ ආක්‍රමණයකින් ලෝක විනාශය වේවි කියල ඇතමුන් කල්පනා කරනවා..?


ඒවත් නිකම්ම උපකල්පන විතරයි. එහෙම වීමට ඉඩක් නැහැ.

ඇතැම් ග්‍රහලෝකවල ජීවීන් ඉන්නවා කියන එක තමා ඡ්‍යොතිෂයෙනුත් පිළිගන්නේ. ඇතැම් ග්‍රහලෝකවල ජීවයට උචිත පරිසරයක් තියනව කියල දැන් දැන් පිළිගැනීමටත් ලක්වෙමින් තිබෙනවා. ඔය සමහර පළාත්වල දකින්න ලැබුණ එළි සමහරු පිටසක්වල යානා ලෙස පෙන්නන්නයි හදන්නේ. මේකත් කොච්චර කතා තිබුණත් තවමත් ලෝකෙ තහවුරු නොවූ කරුණක්. ඔය කියන ජීවීනුත් අප හිතන විදියේ ස්වරූපයක් නොගන්න පුළුවන් වගේම ඒ යානාත් මේ ලෝකෙ වගේ ලෝහමය යානා නොවන මීට දියුණු තාක්ෂණයක් යොදා ගන්නවා විය හැකියි.

හුඟක් දෙනා අද කතා කරන අගවිනිසුරුවරියට විරුද්ධව දෝෂාභියෝගයට කුමක්ද වෙන්නේ?


මේක තමයි මේ රටේ මුළුමනින් ක්‍රියාත්මක වන පූර්ණ වශයෙන් ඵල දරන දෝෂාභියෝගය. නෙවිල් සමරකෝන් මහතාගේ දෝෂාභියෝගයේදී ඔහු විශ්‍රාම ගියා. සරත් එන්.සිල්වා මහතාට විරුද්ධ දෝෂාභියෝගය ඉදිරියට ගියේ නැහැ.

මොන තරාතිරමේ කෙනෙක් වුණත් වරදක් කරල තියෙනව නම් දඬුවම් විඳින්න ඕන. මම අගවිනිසුරුතුමියගෙ පවුලම දන්නවා. එතුමිය මේ වෙලාවේ ගෙවන්නේ ඉතාම තදබල අපල කාලයක්. එතුමියගේ සැමියා කටයුතු කළේ මම ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා විදියටයි.

ලෝකෙම ප්‍රථම අගමැතිනිය බිහිවුණෙත් මේ රටෙන්නේ. ඒ ගෞරවනීය කාන්තා පරපුරට අවමන් වන ආකාරයට අද මේ රටේ අගවිනිසුරුවරිය චෝදනාවට ලක්වෙලා තියෙනවා. මම ඒ පවුලෙම කේන්දර දන්නවා. ඔවුන් ගෙවන්නේ ඉතාම අසුබ කාලයක්.

මං මේ වේලාවේ වඩාත්ම කනගාටුවට පත්වෙනව මේ රටේ ගෞරවනීය සම්භාවනීය තනතුරක් අපකීර්තියට පත්වීම ගැන.
මේක ඇත්තනම් ජ්‍යෙතිෂය බොරුවක්.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. අපේ ජනතාවගෙන් අති බහුතරය බෞද්ධ ජනතාව. පන්සිල් පද පහෙන් දෙවැනි පන්සිල් පදය මේ දෝෂාභියෝගෙත් එක්ක කඩා බිඳ දමා තියෙන බව පැහැදිලියි.

එය මේ රටේ පොඩි ළමයි පවා දන්නවා. මේ පන්සිල් පද කඩපු අය ආරක්ෂා කරන මුවාවෙන් යම් පිරිසක් ඉදිරිපත්වීම ගැන පුදුම වෙනවා වගේම කනගාටු වෙනවා.

නීති ක්‍ෂේත්‍රයේත් දැන් තියන අවුල් වියවුල් නැති වෙලා බොහොම සුබදායී වෙනසක් ලබන වසරේ මුල් භාගයේම දැකිය හැකිවේවි. ඒ අතරම රජයේ මතයට ජනතාවට වැඩි වැඩියෙන් ගරු කරන්න පෙලඹෙන තත්ත්වයක් ඇති වෙනවා.

පාසල් අධ්‍යාපනයේ තියෙන අවුල් වියවුල් මුළුමනින්ම නිරවුල් වෙනවා.

උපුටා ගැනීම . සිළුමිණ පුවත්පත

Gossip Lanka Hot News Previous News Archive