ජනප්‍රිය ගීත නව සංගීතය හා තාක්ෂණය යොදා නැවත නිර්මාණය කිරීම, අදහස් Athma Liyanage, Sherly Wijayantha, Lahiru Perera

ජනප්‍රිය ගීත නව සංගීතය හා නව තාක්ෂණය අනුව නැවත ගායනා කිරීම අද සුලබ දෙයක්. ඇතැම් ගීත මුල් ගායක ගායිකාවන්ම ගායනා කරන අතර තවත් ගීත වෙනත් ගායක ගායිකාවන් ලවා ගායනා කෙරෙනවා. මේ විදියට නිර්මාණය වූ අලුත් ගීත ජනප්‍රිය වන අවස්ථාත් තිබෙනවා. ඔය කාරණය ගැන විවිධ මතවාද අපිට අසන්නට ලැබෙනවා. ඒ, හින්දා මේ සතියේ අපි හිතුව මෙම කරුණු ගැන කතා කරන්න. මේ සඳහා සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් වගේම මෑත යුගයේ බිහි වූ ජනප්‍රිය ශිල්පීන්වත් දායක කර ගන්න අපි හිතුවා.
‘ජනප්‍රිය’ ගීත නව සංගීතය හා තාක්ෂණය යොදාගෙන නැවත නිර්මාණය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?” කියල අපි ඇහුවම ඒ අය පිළිතුරු දුන්නේ මේ විදියට.


ආත්මා ලියනගේ Athma Liyanage

 
කලකට පෙර මා විසින්ම තනු නිර්මාණයකොට මා විසින්ම ගැයූ ගීතයන් අද අසන විට යම් යම් තැන්වලට එක්විය යුතු අංග පිළිබඳව මටම සිතෙන්නට පුළුවන්. නව සංගීත රටාවන් නව තාක්ෂණය උපයෝගී කරගෙන මට එම ගීතය නැවත නිර්මාණය කරන්නටත් පුළුවන්. එතැනදී මුල් ගීතයට ආලෝකයක්් මිසක් හානියක් වන්නෙ නැහැ. ඔන්න ඔය විදියට තමාගේ හෝ වෙනත් අයකුගේ පැරණි ගීතයන් නව සංගීතය යටතේ යළි නිර්මාණය වන්නට පුළුවන්. ඒ මුල් ගීතය ගැන මනා අවබෝධයක් ඇතුව නව සංගීත සංයෝජනය ගැන අවබෝධයක් ඇතුව ඒ කටයුත්ත සිදු වනවා නම් එයින් හානියක් වන්නේ නැහැ. නමුත් ඒ කරුණු ගැන අවබෝධයක් නැති කෙනෙක්් කරන්නන් වා‍ලේ ඔය දේ සිදු කිරීමෙන් ගීතයට වගේම රසිකයාටත් අසාධාරණයක් වනවා. ඒ වගේම තවත් කරුණක් කිව යුතුයි. වෙනත් අයකුගේ ගීතයක් නව සංගීත සංයෝජනය යටතේ යළි නිර්මාණය කිරීමේදී මුල් ගීතයෙ රචකයත්, සංගීතවේදීන් හා ගායකයින් යන කිසිදු පාර්ශ්වයකට සිත් රිදීමක් විය යුතු නැහැ. කලාකරුවා කියන්නේ හරිම සංවේදී කෙනෙක්. ඒ වගෙ කෙනෙකුගේ සිතක් රිදවලා සාර්ථක නව සංගීත සංයෝජනයක් කළත් එයින් වැඩක් නැහැ.



ෂර්ලි වෛජ්‍යන්ත Sherly Wijayantha


ඔය මාතෘකාව පුළුල්ව කතා කළ යුත්තක් බව මුලින්ම කිව යුතුයි.
දියුණු රටවල මුල් ගීතය අභිබවා යමින් නව සංගීත සංයෝජනය යටතේ බිහි වූ නිර්මාණ තිබෙනවා. ඊට හේතුව නව ගීතය නිර්මාණයට දායක වන්නන් සතුව නිසි තාක්ෂණික දැනුම හා ශාස්ත්‍රීය දැනුම තිබිම. ඒ වගේම බටහිර රටවල ගායක ගායිකාවන්ට එකිනෙකාට වෙනස් හඬවල් තිබුණත් ඒ හඬවල් අතර සියුම් අනන්‍යතා නැහැ. ඒ නිසා වෙනත් කෙනෙකු ගැයූ ගීතයක් වුවත් නිසි තාක්ෂණික හා ශාස්ත්‍රීය අවබෝධය ඇති තවත් හඬකින් ගයන්නට පුළුවනි. නමුත් අපේ රටේ ගායක ගායිකාවන්ගේ හඬවල් තුළ සියුම් අනන්‍යතා තිබෙනවා. වෙනත් අයකුට එය මතු කළ නොහැකියි. ඒ නිසා වෙනත් අයකු ඒ ගීතය නැවත ගායනා කරද්දී අර මුල් ගායනයේ අනන්‍යතාවය මතුවන්නෙ නැහැ. ඒ බැව් රසිකයන්ටත් දැනෙනවා. ඒ නිසා මුල් ගීතය අභිබවා යන ගීතයක් වනු තබා මුල් ගීතයට හානියක් නොකළ ගීතයක් ලෙසටවත් දෙවැනි ගීතය පිළිගන්නට රසිකයින් කැමති වන්නේ නැහැ. ඔය කරුණු හින්දයි නව සංගීතය හා තාක්ෂණය උපයෝගී කරගෙන බිහි වූ බොහෝ ගීතවලට චෝදනා එල්ලවුණේ. උත්තර භාරතීය හා ශාස්ත්‍රීය සංගීතය අනුව නිර්මාණය වූ ගීතයන් රැගෙන බටහිර සංගීතයට අනුව නැවත සංගීත සංයෝජනය කිරීමක් තමයි මෙහිදී සිදුවන්නේ. ඒ විදියට ඒ ගීතයේ මූලික සංගීතය ගැන අවබෝධයක් නැතුව, ඒ කටයුත්ත සාර්ථකව කරන්න බැහැ. සරලව කියනවා නම් ගීතයක් නැවත ඔය ආකාරයට නිර්මාණය කිරීම අසීරු කටයුත්තක්. සංගීතය ගැන වගේම තාක්ෂණය ගැනත් විශාල අවබෝධයක් ඇතිව කළ යුතු දෙයක්. අලුත් ගීතයක් නිර්මාණයට වැඩි පිරිවැයක් දරන්නට සිදු වන නිසා අඩු වියදමකින් නිෂ්පාදනය කරන ච්ෙතනාවෙන් ගීතයක් නව සංයෝජනය යටතේ නිර්මාණය කිරීම තමයි අපේ රටේනම් දකින්නට ලැබෙන්නේ.

ලහිරු පෙරේරා Lahiru Perera

පරම්පරාවෙන් පරම්පරාවට රසවින්දනය වෙනස් වෙනවා. කලකට පෙර ජනප්‍රිය වී තිබූ ගීතයක් නව තාක්ෂණය අනුව නවකයෙකු ලවා යළි ගායනා කරවීම තුළින් ඒ ගීතය නව පරපුර අතර ජනප්‍රිය ගීතයක් වනවා. යුගයකදී ජනප්‍රිය වී තිබූ ගීතයක් තවත් යුගයක පරපුරක් අතරට යැවීම ඉතා හොඳ දෙයක්. ඒ නිසා ජනප්‍රිය ගීතයක් තවත් කාලයකදී නව තාක්ෂණය හා නව සංගීත රටා ඇසුරු කරගෙන නැවත නිර්මාණය කිරීමේ කිසිම වරදක් මම නම් දකින්නෙ නැහැ. එම ගීතය නව පරපුර ආදරයෙන් පිළිගන්නවා. මුල් ගීතය වටා සිටි අය දොස් නගනවා.
ඒක සාමාන්‍ය දෙයක්. නමුත් එතැනදී මුල් අයිතිකරුවන්ට අසාධාරණයක් කිරීම නම් අනුමත කරන්නෙ නැහැ.
මුල් නිර්මාණයේ අයිතිකරුවන්ට නිසි ගෙවීම් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඒ වගේම ඔය කටයුත්ත සම්බන්ධව ගායකයෙකු විදියට මගෙ අදහසත් මීට එක් කළ යුතුයි. මම ප්‍රතිපත්තියක් විදියට තවත් ගායකයෙකුගේ ගීත ගායනා කරන්නෙ නැහැ. නමුත් අද මා ගැයූ ගී තවත් කාලෙක එදා දවසේ සංගීතයට හා තාක්ෂණයට අනුව මවිසින් යළි නිර්මාණය කරන්නට ඉඩ තිබෙනවා.

Gossip Lanka Hot News Previous News Archive