මගේ බිරිඳ රට ගියේ ලියාපදිංචි ඒජන්සියකින් - සැමියා කියයි
ජීවිතය ජයගන්න දුප්පත්කම හා පොර බදන අම්මලා, තාත්තලා ප්රමාණය අනන්තය. දෛවය විසින් දුප්පත්කම උරුම කළත් මේ දුක්බර කතාවේ අම්මාත් උත්සාහ කළේ තම පුංචි පුතාගේත් සැමියාගේත් අනාගත ජීවිතය ලස්සන කරන්නටය. දෛවය විසින් ඔවුනට උදා කරදුන් පැල්පත පුංචි නිවහනක් බවට පත් කිරීම මේ අම්මාගේ එකම ප්රාර්ථනාව විය. ඒ නිසාම සවුදි අරාබියේ රස්සාවකට ඇය ගියේ දහසක් ප්රාර්ථනා පොදි බැඳගෙනය. ඒත් අවාසනාවන්ත ලෙස ඒ සියලු පැතුම් බොඳ කරමින් ඇයට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූවාය.
සීගිරිය බටුයාය ප්රදේශයේ පදිංචිව සිටි එම්. සමන්ති (34) රැකියාවක් සඳහා සවුදි අරාබියාවට ගියේ ඉකුත් 2008 මාර්තු මස 3 වැනිදාය. ඒ වනවිට ඇගේ සිඟිති පුතු දෙහැවිරිදි වියෙහි පසුවිය. රැකියාවක් කළද සැමියාගේත්, දරුවාගේත් සුවදුක් නිතර සොයා බැලීමට ඇය අමතක නොකළාය. මාස තුනක් පමණ තමන් උපයාගත් වැටුප සැමියාට එවීමට ඇය අමතක නොකළාය. තම පවුලේ අනාගතය ගැන සිහින මවන්නට හැකි වූයේ මාස තුනක් පමණි. එතැන් සිට දිගු කාලයක් ඇය පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට සැමියාට නොහැකි විය.
"මගේ බිරිඳ රට ගියේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ඒජන්සියකින්. එයා අපිත් එක්ක කතා කළේ මාස තුනක් විතරයි. ඊට පස්සේ කිසිම තොරතුරක් ලැබුණේ නැහැ. මම තොරතුරක් සොයා ගන්න හැම තැනම ගියා. ඒත් වසර එකහමාරක් පමණ යනතෙක් කිසිම තොරතුරක් සොයාගන්න බැරිවුණා.
මේ අතරේ 2012 අගෝස්තු මස 18 වැනිදා සමන්ති රියාද් හි මියගිහින් කියලා විදේශ සේවා කාර්යාලය ඒජන්සිය හරහා මට දැනුම් දුන්නා. මළ සිරුර කඩිනමින් ලංකාවට ගෙනවිත් දෙනවා කියලත් කිව්වා.
ඒ නිසා මමත් දරුවත් දරාගත නොහැකි ශෝකයෙන් මේ ගැන කල්පනා කරමින් හිටියා. මේ අතරතුර විදේශ සේවා නියුක්ති කාර්යාංශය යළිත් මට ලිතව දැනුම් දුන්නා සමන්ති ලංකාවට පැමිණ තිබෙනවා. ඒ නිසා කාර්යාංශයේ ඒ ගැන ඇති ලිපිගොනු ඉවත්කරන බවට. මේ ලියුම ආවට පස්සේ මමත් පුතත් සමන්ති සොයමින් රටපුරා සිටින අපේ ඥතීන්ගේ ගෙවල්වලට ගියා. ඒත් හම්බ වුණේ නැහැ.
ඊට පස්සේ යළිත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මට දැනුම් දුන්නා සමන්ති මිය ගිහින්. සමන්ති පැමිණි බවට කලින් කිව් කතාවට සමාව අයදිනවා කියලා.
මේ තොරතුරත් නැති හතරබීරි කතා අසා කිසිම අරමුණක් නැතිව මම ඉන්නකොට පසුගිය 29 වැනිදා රාත්රි මුද්රd තැබූ සමන්තිගේ මිනී පෙට්ටිය ගෙදරට ගෙනාවා" යෑයි ඇගේ සැමියා වන ඒ. තිලක් ආරියරත්න මහතා (38) පැවසීය.
ඇයගේ දේහය කුඩා නිවසේ තැන්පත් කර තැබීමට නොහැකි නිසා අසල පිහිටි ඥති නිවසක මේ වනවිට තබා ඇත. හත් හැවිරිදි වියෙහි පසුවන කසුන් පුතාට මවගේ මුහුණවත් බලා ගන්නට අද නොහැකිව ඇත.
සමන්තිගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතිවීම තවත් එක් අවාසනාවකි.