“ඒකීය රට සුරකිමු ”රට රකින සටනට සිවුදිග මහ සඟ රුවන එක් වේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකිරීම සඳහා සහ අපවත්වී වදාළ පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අනුස්මරණය කිරීම සඳහාත් සංවිධානය කර තිබූ මහා සඟ සමුළුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම ජාතික තරුණසේවා සභා ශ්‍රවනාගාරයේදී 12 දින පස්වරුවේ පැවැත්වූ වූහ.



“ඒකීය රට සුරකිමු ” යන තේමාව යටතේ පැවැත්වූ මෙම මහ සංඝ සමුළුවට සහභාගීවූ මහා සංඝරත්නය නාවින්නේ සිට පාගමනින් මහරගම තරුණසේවා සභා ශ්‍රවණාගාරයට වැඩම කළහ. ඉන් පසුව බුද්ධ වන්දනාව සිදුකොට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ පිළිරුවට මල් පූජා කිරීමෙන් පසු සමුළුව ආරම්භ කෙරිණ. මේ අවස්ථාවට පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් හා සොහොයුරා ද සහභාගී වූහ.

තවද මේ අවස්ථාවේදී පූජ්‍යය රජවත්තේ වප්ප, මහාචාර්ය ඉඳුරාගාරේ ධර්මරතන, ආචාර්ය ඕමල්පේ සෝභිත, පූජ්‍යය අතුරලියේ රතන යන හිමිවරුන් විසින් පැවිදි අනුශාසනා පැවැත්වූ අතර විදුලිබල හා බලශකිත් අමාත්‍ය පාඨලී චම්පික රණවක, මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් සෝමවීර චන්ද්‍රසිරි යන මහත්වරුද සංඝ සම්මේලනය ඇමතූහ.

ඉන්දියාවේ බලහත්කාරකම නිසා උපන් පළාත් සභා ක්‍රමය නම් අවජාතක දරුවා අපේ දරුවෙක් යයි සිතන පියවරුන් අද ලංකාවේ සිටින බව මෙහිදී සභාව ඇමතූ ජාතික නිදහස් පෙරමුණේ නායත ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. “ එදාට දේශපාලන බලහත්කාරකම් කරලා, කොටියව පෙන්නල, ගුවනින් පරිප්පු දාලා, බලහත්කාරයෙන් ගෙනත්දීපු දරුවා නලවන්න නොවෙයි රණවිරුවන් දිවි හිමියෙන් අපට නිදහස උරුම කර දුන්නේ. ඒ අවජාතක දරුවා වෙනුවට අපේම සහජාත දරුවෙක් නිර්මාණය කරගන්න අපට පුළුවන්. ඒ සහජාත දරුවා පාර්ලිමේන්තුවට අතතියන්නේ නැති, ව්‍යවස්ථාදායක බලයට අත තියන්නේ නැති ගමේ ජන බලය, ගමේ සංවර්ධන මෙහෙයුම බාරගන්න පුළුවන් දරුවෙක් වශයෙන් අපට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ නිසා ඉන්දියාවෙන් බලහත්කාරයෙන් දුන්න අවජාතක දරුවා නළවන්න නැළවිලි ගී කියන අයට නැළවිලි ගී කියන්න කියනගමන් මේ 13 වන සංශෝධනය අහෝසි කරවීමටත්, යුද්ධයෙන් පසු මේ රටේ ආර්ථිකය ගමන් කළ යුතු නිවැරදි දිසාවට එය යොමු කරවීමටත් අපි මේ මුළු රටම පෙළගැස්විය යුතුයි.

යුද්ධය නිමාකරල මේ රට සාමය උදා කරගත්තට පස්සේ යුද්ධය තිබුණු කාලේ මේ රටේ තිබුණු ගැටුම වෙනත් ආකාරයකින් අද වන විට කරළියට පැමිණ තියෙනවා. බෙදුම්වාදි ත්‍රස්තවාදීන් මේ රටේ ක්‍රියාත්මක වෙද්දී මේ රට අස්ථාවර කරන්න මාන බැලූ අධිරාජ්‍යවාදීන් අපේ රට, ජාතිය අස්ථාවර කරන්න වැඩියෙන්ම පාවිච්චි කළේ මේ බෙඳුම්වාදී ත්‍රස්තවාදී සංවිධානය. ඒ ත්‍රස්තවාදී සංවිධානය ඒ සඳහා මූලික වශයෙන් යොදා ගන්නා ගමන් තවත් සහයක බලවේග විශාල ප්‍රමානයක් ඔවුන් සමඟ සිටියා. දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ මතවාදී දේශපාලන පෙරමුණු, විදේශ රාජ්‍යය හා තානාපති කාර්යාල වල මුදල් මත යැපෙන අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන ජාලය, ඒ වගේම ඇතැම් දේශපාලන ව්‍යාපාර, ඒ අතර පෙරමුණේ සිටියා. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජය වුණාට ඔවුන් පසුපසින් සිටි අධිරාජ්‍යවාදී බලවේග තවම පරාජය වෙලා නෑ. ඔවුන් තවම දුර්මුඛවෙලා නෑ. ඒ නිසා ඔවුන් වෙනත් වටයකින් එම දෙමළ ඊලාම් බෙඳුම්වාදී අරගලය, ජාතිය දුබල කිරීමේ අරගලය දියත් කරමින් සිටින්නේ. එසේම ඒ තුළින් ඔවුන් අධිරාජ්‍යවාදීන්ට ලංකාවට අත පෙවීමේ ඉඩහසර ද විවෘත කරලදීලා තියෙනවා.

ඒ අනුව අන්තර්ජාතිකව මේ මව්බිම නිදහසේ හුස්ම ගැනීම නතර කිරීමේ අරගලය එක් අතකින් දියත්වෙලා තියෙනවා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ දෙවන මලපුඩුව ලක් මාතාවගේ ගෙලේ ඔතන්න ජිනීවාවල ලබන මාර්තු මාසයේ ඔවුන් ක්‍රියාත්මක වෙනවා. එයට සමගාමීව රට තුළ අභ්‍යන්තර ගැටුම් අවුළුවන්න හදනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ඉතිහාසයේ කවදාවත් නොතිබූ ගැටුම් අවුළුවන්න ඔවුන් කටයුතු කරන්නේ. එදා කොටියයි රජයයි හප්පලා ඒ තුළින් රට අස්ථාවර කරන්න, තමන්ගේ අරමුණු ඉටුකරන්න මාන බැලුවා වගේ අද කොටියා නැති නිසා ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි හරි හප්පලා ඒ තුළින් තමන්ගේ න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනියන්න තමයි ඔවුන්ගේ අරමුණ.

ඒ විතරක් නෙවෙයි තමන්ගේ දේශපාලන කාලසටහනට අනුව මේ රටේ ආර්ථිකය දුර්වල කිරීමේ ව්‍යාපාරයක්ද ඔවුන් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා සමහරවිට රජය තුළම සිටින ආර්ථික ඝාතකයින් යොදා ගැනීමට ඔවුන් ක්‍රමාණුකූලව කටයුතු කරනවා. ඒ අනුව බැලූවිට අපිට පේනවා මේ රට අද තියෙන්නේ බෙඳුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ භාග්‍යය භුක්ති වින්ද ද ඒ ත්‍රස්තවාදී බලවේග නැවත ජාත්‍යන්තර බලවේගවල හයිය මත පදනම්වී නැගිටීමේ අවදානමක්ද සහිතවයි.

අද මේ මහා සමුළුවට දසදෙසින් පැමිණ සිටින ඔබ වහන්සේ තමයි මේ රටේ හැම ගමක් ගමක් පාසාම සැරිසරණ මහා ආධ්‍යාත්මික බලවේගය. ජාතිය අසරණ වන සෑම මොහොතකම ඒ අසරණභාවයෙන් ජාතිය මුදවා ගැනීමේ මහා අධ්‍යාත්මික බලවේගය වූයේ ඔබවහන්සේයි. ඒ නිසාම තමයි අර ඉතාම තීරණාත්මක සතුරු බලවේගය වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට ලක් මාතාවගේ දූ දරුවන්ට හැකියාව ලැබුණේ. අප ඉදිරියට ඇති මේ අලුත් අභියෝග පරාජය කිරීම සඳහාත් යෝධ අධිෂ්ඨානයක් අද මේ මහ සමළුවේදී අපි ඇතිකරගත යුතුයි.

ඔබ වහන්සේ මේ වනවිටත් දන්නවා ඇති මාර්තු මාසයේ යෝජනා සම්මත කරන්නේ නිකන් නෙමෙයි. ඊට පස්සේ උතුරු පළාත් සභාවේ ඡන්දය තියන්න කියා ජිනීවා වලින් බලකරයි. උතුරු පළාතේ ඡන්දෙ තියලා දෙමළ ජාතික සන්ධානයට එහි බලය හිමිකර දීලා උතුරු පළාතේ ඉඩම් වලට වෙනම ප්‍රඥප්ති හදන අනාගතයක් හදන්න, ඒ වගේම ව්‍යවස්ථාදායකයේ උතුරු පළාතට නොදී තියෙන පොලිස් බලතල නැවත ලබාගන්න අනාගතයක් හදන්නයි ඔවුන් ක්‍රියාකරන්නේ. අපේ රට එතනට ඇද වැටෙන්නට කලින් එක් කළ හැකි සෑම බලවේගයක්ම, බලපෑමක්ම ඒකරාශීකොට මේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්න කියා රජයට අප බල කළ යුතුයි ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පූජ්‍ය නාකුළුගමුවේ ප්‍රේමතිලක නාහිමි, පූජ්‍ය, ආචාර්ය නාගොඩ අමරවංශ හිමි, පූජ්‍ය බදගිරියේ සෝමවංශ හිමි, පූජ්‍ය රන්පත්තිල විමලරතන හිමි, පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි, පූජ්‍ය බෙලිගල්ලේ ජිනවංශ හිමි ඇතුළු මහා සංඝරත්නයද, බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල, පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර, පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ, ආචාර්ය ගුණදාස අමරසේකර, ආචාර්ය සූරිය ගුණසේකර, ආචාර්ය පණ්ඩුල ඇදගම, ප්‍රවීණ ගායන ශිල්පිණී දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.










Gossip Lanka Hot News Previous News Archive