එන්නත් කුප්පියෙන් වීදුරු කටු මතුවේ - බාල එන්නත් තවමත්

කකළුබෝවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක් තුළ තිබී වීදුරු කැබැල්ලක් සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩයට අයත් සියලු එන්නත් රෝහලෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ හෙද නිලධාරී‍න්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

"ක්ලොක්සසලීන්" නැමැති ප්‍රතිජීවක එන්නත් කුප්පියක් තුළ මෙම වීදුරු කැබැල්ල තිබී සොයාගෙන ඇති බව සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.


මෙය බරපතළ කරුණක් බවත් එන්නත් කුප්පියක ජීවානුහරණය නොමැතිවීම රෝගීන්ගෙන් පාර්ශවයෙන් අයහපත් තත්ත්වයක් බවත් ඔහු පෙන්වාදුන්නේය.

පසුගිය කාලයේත් මෙවැනි සිද්ධීන් වාර්තා වු බවත් ඖෂධ ගෙන්වීමේදී වඩාත් සුදුසු ආයතනවලින් ඒවා‍ ගෙන්විය යුතු බවද එසේම මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනයේදී මෙම සිදුවීම වාර්තා වු බවයි.

ඒ අනුව අදාළ කාණ්ඩයේ එන්නත් කුප්පි සියල්ල භාවිතය තාවකාලිකව නතර කිරීමට නියෝග කළ බව අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

එන්නත් කුප්පි 600 ක් පමණ එලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා දැනටමත් අදාළ අංශ වෙත යොමුකර ඇති බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive