අත්හදා බැලීමට පහසු නමේ අකුරුවලින් කියැවෙන ජීවන රහස්


ලොව මවිත කෙරෙන ගණිත ශාස්ත්‍ර ක්‍රම අතර චරිතය විදහාපාන ජීවන රහස් නාමයේ අකුරු වටිනාකම තුළින් ප්‍රකාශ වෙයි. බුද්ධිමත් ශාස්ත්‍රහිතකාමී පාඨක ඔබටත් අත්හදා බැලීමට පහසු ගණිත ක්‍රමයක් පහත දැක්වෙයි.

1. අ - ඉ - ජ - ය
2. බ - ක - ර
3. ච - ග - ස - ල
4. ඩ - ම - ට - ත - ද
5. එ - ඇ - න - ක්‍ෂ - හ
6. ව - උ
7. ඩ - ශ
8. ෆ - ප


ඔබගේ නමට හෝ අවශ්‍ය කෙනාගේ නමට ඇති අකුරුවලට ඉහතින් දක්වා ඇති සංඛ්‍යා සියල්ල එකතු කර හරස් අතටද එකතු කර එනු ලබන ඉලක්කමට තොරතුරු බලන්න.
නිදසුනක් ලෙස
නා - ර - ද - ඩී - ලි - ය - න - ආ - ර - ච් - චි
5 + 2 + 4 + 4 + 3 - 1 - 5 + 1 + 2 + 3 + 3 + = 33 (3 + 3) = 6
මෙහි සඳහන් අංක 6 යටතේ ඉදිරිපත් කරන විස්තරය කියවා බලා ලේඛක මා දැක ඇසුරු කර නැතත් මාගේ ජීවන රහස් තොරතුරු, චරිතය පාඨක ඔබට දැන ගත හැකිය.

අංක - 1
උත්තරීතර මානුෂික ගතිගුණවලින් සපිරුණ අවංක පරිත්‍යාගශීලී හදවතකින් පිරීගිය අයෙකි. අප්‍රතිහත ධෛර්යයෙන්ද නොපසුබට වූ උත්සාහයෙන්ද අනූන වෙයි. නිති විනයගරුක නිර්භීත එඩිතර කෙනෙකි. චාම් සරල වූ සහජීවන රටාවකට හුරුපුරුදු කපටි කෛරාටිකකම්වලින් අෑත් වුණු අව්‍යාජ ගතිගුණවලින්ද යුක්ත ගුණවතෙකි. පුහු ආටෝප සාටෝපයන්ගෙන් දුරු වූ උඩඟු අහංකාරකම්වලින් තොර කෙනෙකි.

අංක - 2
ප්‍රබල වූ ග්‍රහ ශක්තියකින් ජන්මලාභය ලබන මොහු හෝ ඇය ඕනෑම කටයුත්තකදී පෙරමුණ ගෙන ක්‍රියා කරයි. අයුක්තිය අසාධාරණය නුරුස්සන සටන්කාමියෙකි. මොහු විජයග්‍රහණය තෙක් ක්‍රියා කරයි. කල්‍යාණ මිත්‍රයන් ඇති, ප්‍රියවචන කතා කරනු ලබන පින්වන්ත වූ කෙනෙක් වෙයි. වාද විවාදවලින් ජය ලබයි. චතුර වූ කථිකත්වයක්ද ඇත.

අංක - 3
දන්නා දේට වඩා නොදන්නා දේ වැඩිපුර කතාබහ කරයි. අන්‍යයන්ව නිතර පහත හෙළා කතා කරයි. උසස් ප්‍රභූ ඇසුර නිතර නිතර පතනු ඇත. නව නිර්මාණාත්මක කටයුතු කෙරෙහි දක්‍ෂ වෙයි. එසේම ආත්මාර්ථකාමීහු වෙති. ඉතා ධෛර්ය සම්පන්න වෙයි. කාමාධික වෙයි. කතාබහට දක්‍ෂ වෙයි. එක අරමුණක ගමන් නොකරනු ඇත.

අංක - 4
නිති විනයගරුක සරල ගති පැවතුම් ඇති ත්‍යාගශීලී අයෙකි. කලාකාමී හදවතක් ඇති ස්වාභාවික සෞන්දර්යය අගය කරන ගුණගරුක ඥානවන්ත කෙනෙකි. තීක්‍ෂණ වූ බුද්ධියක් ඇති ඔහු හෝ ඇය ඉතා දූරදර්ශීව ක්‍රියා කරයි. ගැඹුරු දේ ඉගෙනීමට ප්‍රියමනාප වෙයි. කාලයට අනුව ජීවිතය ගෙනයන මොහු අනාගතය ස්ථිරවම සාර්ථක කරයි. ගුප්ත කෞතුක අංශයෙන් ඉගැනීමෙහිද ප්‍රියමනාප වෙයි.

අංක - 5
තමා කිසිවක් නොදැන සිටියත් දන්නා කෙනෙක් මෙන් කතා බහ කරයි. උසස් ප්‍රභූන් ඇසුරට ප්‍රියමනාප වෙයි. බියගුලු ගති නිතර පෙන්වයි. තමන් ධෛර්යවන්තයකු මෙන් පෙන්වයි. කටුස්සකුගේ වර්ණය මෙන් වෙනස් වනසුලුය. අනාගතය උනන්දුව මත ¼දා පවතිනු පෙනී යයි. කතාවෙන් බහෙන්ද අන්‍යයන් ජයගනු ලබයි.

අංක - 6
විනෝදකාමී ජීවිතයක් ගත කරන මේ උදවිය සියල්ල සැහැල්ලුවෙන් සලකයි. කෙතරම් කරදර බාධක ආවත් ඒ සියල්ලම සැහැල්ලුවෙන් විඳදරා ගනියි. කම්පා නොවෙයි. දූරදර්ශී වෙයි. ආගම ධර්මයට සේම සමාජ සේවයටද රුචි කරයි. කරුණාව මෛත්‍රිය අනුකම්පාවද ඇත. සුළු වශයෙන් පටන්ගන්නා ව්‍යාපාර නිසා මහා පරිමාණයෙන් දියුණු වෙයි. ලද දෙයින් සතුටු වෙයි. ඕනෑම තැනක කැපී පෙනෙයි. දිගු කාලීනව කරගෙන යනු ලබන කටයුතු තුළින් මොහු හෝ ඇය මනාවූ දියුණුවක්ද ලබයි. පෞරාණික වූ ශිල්ප ශාස්ත්‍ර හදාරයි. කලාකාමී වූ හදවතක්ද ඇත.

අංක - 7
සැමදෙනා කෙරෙහි මෙත් සිතින් කටයුතු කරයි. ගුප්ත විද්‍යාත්මක කාරණා ගැන පර්යේෂණාත්මකව බලයි. ගැඹුරු ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමෙහිලා මනා පළපුරුද්දක්ද ඇත. නිති විනයගරුක ආචාරශීලී සදාචාර සම්පන්න වූ අයෙකි. ඇසුරටද බලනුයේ මෙවැනිම උදවියයි. අන්‍යයන්ටද බරක් නොවී ජීවත්වීමට වගබලා ගනියි. ආගම ධර්මයට මෙන්ම සමාජය සේවයටද ප්‍රියක් දක්වයි.

අංක - 8
නිතරම ජීවිතයේ අශුභ පැත්ත කෙරෙහිම සිත යොමු කරවයි. සතුටකින් තොරව ශෝකාකූලවම දවස ගෙවයි. ඇඳුම් පැලඳුම්, ආහාරපාන කෙතරම් ඇතත් සිතෙහි කිසිදු සතුටක් නොමැත. කාර්යබහුල වෙයි. සෘජුව ක්‍රියා කරන අතර හදිසි කරදරද යෙදෙයි. තමාගේ අනාගතය යහපත් වෙයි.

අංක - 9
යුක්තියට හිස නමන අයුක්තිය අසාධාරණකම් පිටුදකින මනා වූ චිත්ත ධෛර්යයකින් යුතු වූ අන්‍යයන් වෙනුවෙන් පරිත්‍යාගශීලීව ක්‍රියා කරන කෙනෙකි. සතුරු කරදර නඩුහබවලින් ජය ලබයි. යහපත් මිතුරන් මෙන්ම දරුණු සතුරන්ද ඇත.
කොත්මලේ නාරද ජේ‍යාතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂණායතනයේ ශබ්ද විද්‍යා අංශය විසින් සිදුකරන ලද විධිමත් පර්යේෂණයක් ඇසුරිනි.


කොත්මලේ නාරද ඩී. ලියනආරච්චි

Gossip Lanka Hot News Previous News Archive