දෝෂාභියෝගය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට පටහැණියි

අගවිනිසුරු, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි චෝදනා විමර්ශනය කල අකාරය ජාත්‍යන්තර ප්‍රමිතීන් නොතකා මෙන්ම නිශ්චිත ක්‍රියාපටිපාටිය උල්ලංඝණය කිරීමින් සිදු කර ඇති බව ජූරි සභිකයින්ගේ ජාත්‍යන්තර කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අධිකරණයේ ස්වාධීනත්වය හා නඩු විනිශ්චය කිරීමේදී ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට බලකර සිටින බව එම නිවේදනයේ සදහන්වේ.


අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින්ට අවස්ථා කිහිපයකදීම පහරදීම් සිදුවූ බවත්, ඒවා අධිකරණයට එල්ලවන ප්‍රචණ්ඩත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බවක් පෙන්නුම් කරන බවත් ඔවුන්‍ පෙන්වාදෙයි.

අගවිනිසුරුවරියගෙන් කරුණු විමසීමට මෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙන උදවියගෙන් කරුණු විමසීමට අගවිනිසුරුවරියගේ පාර්ශවයටද අවස්ථාව තිබිය යුතුවීම ජාත්‍යන්තර පිළිගැනීම වුවද මෙම සිදුවීමේදී එකී සම්ප්‍රදාය උල්ලංඝණය වී ඇතැයි කොමිසම චෝදනා කරයි.

එසේම තමාට එරෙහි චෝදනා පිළිබඳ සවිස්තරාත්මක කරුණු දැක්වීම් හා හෙළිදරව් කිරීමක් කළ යුතු වුවද එවැන්නක් පවා සිදුව නොමැති බවට ඔවුන් චෝදනා කරයි.

සාධාරණ නඩු විභාගයක් සඳහා වන ක්‍රියාපටිපාටියේ මූලික ප්‍රතිපත්ති පවා ඉදිරියට ගෙන යන්නට පාර්ලිමේන්තුව අසමත්ව ඇති බව ජූරි සභිකයින්ගේ ජාත්‍යන්තර කොමිසමේ ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ සෑම් සැරිෆි සඳහන් කර තිබේ.

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විමසුමට පෙරාතුව රජය විසින් ගෙන එන ලද විවාදයට තුඩු දුන් "දිවිනැඟුම පනත් කෙටුම්පත"ට එරෙහිව අගවිනිසුරුවරිය විසින් තීන්දුවක් ලබාදුන් බවත්, එකී පනතට අනුව අමෙරිකානු ඩොලර් මිලියන 611 ක් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට පාලනය කිරීමට හැකියාව ලැබෙන බවත් එකී නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

2012 ජූලි මාසයේදී රජයේ අමාත්‍යවරයෙකු වන රිෂාද් බදියුදීන් විසින් මන්නාරම මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ බවත් ,පසුව කලහකාරී කණ්ඩායමක් මෙහෙයවමින් අධිකරණයට ගල් ගැසීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවී ඇති බවත් කොමිසම සිහිපත් කරයි.

එසේම ඉකුත් ඔක්තෝම්බර් මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ශාරීරිකව පහරදී තුවාල සිදුකළ බව හා එය තමන් විසින් දැඩිව හෙළාදුටු බවද ඔවුන් කියා සිටියි.

නොවැම්බර් මාසය වන විට අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම තුළින් අධිකරණයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය සෝදාපාළුවට ලක්වීමක් දක්නට ලැබෙන බවත්, එය රටක් ලෙස ශ්‍රී ලංකාවට වඩා හානිකර බවත් ජූරි සභිකයින්ගේ ජාත්‍යන්තර කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්වේ.

Gossip Lanka Hot News Previous News Archive