වසර තුනක පමණ කාලයක් දම්වැලකින් බැඳදමා වැඩ අරන්

ජා ඇල, වැලිගම්පිටියේ කෝටිපති නිවසක දම්වැල්වලින් ගැට ගසා කෲර වද බන්ධන දෙමින් මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි 61 හැවිරිදි පුද්ගලයකු කඳාන පොලිසියේ ජංගම මුර සේවයේ යෙදුන නිලධාරින් විසින් සොයා ගෙන ඇත.

අද (17) අළුයම 4ට පමණ ජංගම මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට මෙම පුද්ගලයා හමු වී ඇත්තේ කකුලක බැඳ තිබූ දම්වැල් සමග කුණු බක්කියක තිබූ ආහාර එළියට ඇද අනුභව කරමින් සිටියදීය.

පොලිසිය මොහුගෙන් ප්‍රශ්ණ කළ අවස්ථාවේ හෙළි වී ඇත්තේ වැලිගම්පිටිය, අංක 19, පල්ලිය පටුමග පිහිටි කෝටිපති නිවසක මොහු වසර තුනක පමණ කාලයක සිට දම්වැල්වලින් ගැටගසා මෙහෙකාර සේවයේ යොදවා ගෙන සිටි බවයි.

මොහු අංක 131/1 මකුල්දූව, පාලිගෙදර, පිලියන්දල පදිංචී වී සිටි කල්පගේ දොන් අරනෝලිස් ජයතිලක බව පවසා ඇත.

නිසි ආහාර ලබා නොදී මොහුගෙන් මෙහෙකාර සේවය ලබාගෙන ඇති අතර අද (17) අළුයම ඇති වූ තද කුසගින්න හේතුවෙන් දම්වැලේ එක් ‍කෙළවරක් අපහසුවෙන් ලිහාගෙන ගොස් අසල තිබූ අපද්‍රව්‍ය බහාලන භාජනයක තිබූ ආහාර අනුභව කළ බව මොහු පොලිසියට‍ පවසා ඇත.

මෙම පුද්ගලයාගේ ප්‍රකාශ මත දම්වැලෙන් බැඳ තබාගෙන සේවය ලබාගත් සැක කටයුතු නිවසේ කෝටිපතියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය පිළිබඳ කඳාන පොලිසියේ පොලිස් ස්ථානාධිපති ලකී රන්දෙනිය මහතාගේ උපදෙස් මත පොලිස් පරිසර ඒකකයේ ස්ථානාධිපති පී.ඒ.ජයතිලක, පො.සැ. ප්‍රියන්ත (53333),පො.කො.අබේකෝන් (36039) සහ පො.කො.ගුණරත්න (44019) යන නිලධාරිහූ පරීක්ෂණ පවත්වති.



Gossip Lanka Hot News Previous News Archive