අඟහරුවාදා සිට අධිකරණයන්හි විරෝධතා

ප‍්‍රාදේශීය නීතිඥ සංගම් ලබන අඟහරුවාදා සිට වෙන වෙනම ඒ ඒ අධිකරණයන්හි විරෝධතා ආරම්භ කිරීමට තීන්දු කර තිබේ.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ ප‍්‍රාදේශීය නීතිඥ සංගම්වල සභාපති සහ ලේකම්වරුන්ගේ නියෝජිත රැස්වීමක් අද (08) අලූත් කඬේ දී පැවති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.


මෙම රැස්වීමට ගාල්ල, මාතර, අනුරාධපුර, නුවර, පානදුර, මහර, දඹුල්ල, කුරුණෑගල ආදී විශාල නීතිඥවරුන්ගේ සාමාජිකත්වයක් සහිත ප‍්‍රාදේශීය නීතිඥ සංගම්හි නියෝජිතවරු පැමිණ සිටියහ.

පැමිණ සිටි සංගම් නියෝජිතයන්ගෙන් සියයට 90 ක් පමණ අධිකරණයට එරෙහිව පවත්නා තර්ජනයට එරෙහිව දැඩි සටන් ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටිමින් යෝජනා ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ ඇමැතිවරුන් නිතිපතා කරන අපහාසයන්, ආණ්ඩුව විසින් මැරයන් ගෙන්වා අධිකරණ භූමිය වැටලීම ආදී අවනීතියේ උපරිමයට ගොස් ආණ්ඩුව කරගෙන යන ක‍්‍රියා මාර්ගයන්ට එරෙහිව අඛන්ඩ වර්ජනයක් හෝ දින 5 ක වර්ජනයක් කළ යුතු යැයි අති බහුතරයක් විසින් යෝජනා කර ඇත.

එහෙත් මෙම රැස්වීම එවැනි තීන්දු ගන්නා සංවිධානයක් නොවන බැවින්, ලබන 15 වන සෙනසුරාදා මහා සභාවක් කැඳවා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා එකගත්වය පළකර ඇත.

මේ අතර, නීතීඥ සංගමයේ විශේෂ විධායක රැස්වීමක් හෙට (09) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ. විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මේ බව පැවසුවේය.

මෙම මාධ්‍ය හමුවට එක් වූ නීතීඥ උපුල් ජයසූරිය මහතා සඳහන් කළේ වැඩබලන අගවිනිසුරුවරයෙකු පත් කළහොත් තම නීතීඥයින් ඒ සඳහා විරෝධය පළ කරන බවයි.


Gossip Lanka Hot News Previous News Archive