ඉනෝකා |
අගහිඟකමේ අඳුරු සෙවණැලි ඉනෝකාට මරු කැඳවයි.
මෙම මරණය ගැන නීත්‍යනුකූලව කටයුතු කරන්න එපා. අපි ඕන තරම් මුදල් දෙන්නම්. දරුවාටත් සලකන්නම් කියා කිව් නිසා මේ මරණය ගැන අපිට සැක සිතුණා යැයි ඉන්දියාවේදී අක්මාවේ කොටසක්දී ඉන්දියාවේදීම මියගොස් ලංකාවට ගෙන ආ ඉනෝකා දමයන්ති විජේරත්න (36) ගේ මරණය සම්බන්ධව ප්‍රකාශයක් කරමින් මියගිය තැනැත්තියගේ පියා වන කේ.ජී. විජේරත්න (57) මහතා පැවැසීය.
ඉනෝකා අක්මාව දුන්නාද? බලහත්කාරයෙන් ගත්තාද?
කෑගල්ල ප්‍රදේශයේ කාන්තාවක් ඉන්දියාවේ ප්‍රතිකාර ලබන රෝගියකුට වකුගඩුවක් දෙන්න ගොස් වකුගඩු දෙකම අරන් ඒ කාන්තාව මිය ගොසින් යැයි පැතුරුණු ප්රචාරයේ සත්‍යතාව සොයා බැලීමට අපි මොළගොඩ මංගල ගමට ගියෙමු.ඉනෝකාගේ පියා |
ගිය පළමු දිනයේම තොරතුරු සොයා ගැනීමට නොහැකි වූයේ එම අවස්ථාවේ නිවෙසේ සිටි ඥාතීන් ගොළුවත රැකීම නිසාය. එහෙත් කරුණු සොයා යෑමේදී නිවෙසේ සිටි අය පැවැසුයේ මැඩම් සමඟ ඉන්දියාවේ යනවා කියා ගිය අම්මා මියගොස් ඇති බව 21 වැනිදා අපට දැන්වූ බවයි. මේ මැඩම් කියන අය කවුරුද, මිය ගියේ කෙසේද ආදී කිසිවක් නොදන්නා බවත්, 24දා මෘත ශරීරය ගෙනෙන බවත්, 25දා ආවොත් විස්තර දැනගත හැකි බවත් ඔවුහු කීහ.
ඒ අනුව පසුදින එහි ගිය අපට දැනගත හැකි වූයේ මියගිය අය තමාගේ අක්මාවේ කොටසක් දීම සඳහා 'මැඩම්' කියන අය සමඟ ඉන්දියාවට ගොස් එහිදී අක්මාවේ කොටසක් රුපියල් ලක්ෂ තුනකට දීමට කැමැත්ත පළකර තිබූ බවයි. ඒ සඳහා ගිවිසුමක්ද දෙපාර්ශ්වය අතර අස්සන් කර ඇති බව දැනගන්නට ලැබිණ.
දිවුරුම් ප්‍රකාශයක් මඟින් ගිවිසුම අස්සන් කර ඇති අතර එම ගිවිසුමේ සඳහන් පරිදි මීගමුව උළු අම්බලම වත්ත කුලරත්න මාවතේ පදිංචි එස්.පී. පියප්රේමද සිල්වා එදිරිසිංහ යන අය විසින් නොවැම්බර් මස 07 වැනි දින ජාතික පුවත්පතක පළ කරන ලද අක්මාවේ කොටසක් බද්ධ කිරීම සඳහා පරිත්‍යාගශීලී අයකුට ඉදිරිපත් වන ලෙසට එහි සඳහන් වූ දුරකතන අංකයට කතා කර එම නිවෙසට ගොස් අක්මාවේ කොටසක් පරිත්‍යාග කිරීමට මෙම මියගිය ඉනෝකා කැමැත්ත පළකර ඇත.
දියණිය සහ මව අවසාන ගෞරව දක්වමින්... |
ඉන්පසු 2012.11.10 දින කොළඹ ආසිරි රෝහලේදීද 2012.11.22 දින සිට 2012.11.28 දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර ගේරා්බල් රෝහලේද පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී 2012.11.28 දින ලංකාවට පැමිණ ඇත.
මෙම දායකත්වය ලබා දෙනු ලබන්නේ රෝගියකුගේ ජීවිතයක් බේරා ගැනීමේ උතුම් කාර්යය බවටත්, ඒ සඳහා කෘතගුණ සැලකීමක් වශයෙන් ලක්ෂ 03ක මුදලක් ලබා දෙන බවටත්, ඒ මුදල ඉනෝකා ලංකාවට පැමිණි පසු ගෙවන බවටත් එම රෝගියාගේ බිරිය වන වීරක්කොඩි අයිරින්ද සිල්වා යන කාන්තාව ගිවිසුමෙන් පොරොන්දු වී ඇත. මෙම දිවුරුම් පෙත්සම මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියක් විසින් සහතික කර ඇත. ඒ මියගිය කාන්තාව පරීක්ෂණ කර ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේ දීමය.
මේ දිවුරුම් පෙත්සමේ මියගිය අම්මාගේ අස්සන නොවන බවත්, දිවුරුම් පෙත්සම හා ගිවිසුම හොර එකක් බවත්, ව්‍යාජ අස්සනක් යොදා ඇති බවත් මියගිය කාන්තාවගේ එකම දියණිය වූ කෑගල්ල බාලිකා විදුහලක ඉගෙන ගන්නා (12 වසරේ) ඩිල්ෂානි සඳරේඛා රත්නසිරි (17) දැරිය පැවැසුවාය.
මෙය අම්මාගේ අස්සන නොවේ. අකුරුත් අම්මාගේ නොවේ. හරි අස්සන මේකයි. ගිවිසුමේ සාක්ෂි අස්සන් දෙකක් තිබෙනවා. ඔවුන්ගේ නම් නැහැ. මේක මහා අපරාධයක් බව ඇය පැවැසුවාය.
මියගිය මගේ අම්මා 12 වැනිදා ගියදා සිට 17 වැනිදා තෙක් මට කතා කළා. මම හොඳින් ඉන්නවා කීවා. අඳුනන අයෙක් ළඟ ඉන්නේ බය වෙන්න එපා කිව්වා. ඉන්දියාවේ සිට කතා කරන බවත්, මැඩම්ගේ මහත්තයා අසනීපයෙන් ඉන්නේ. එයාට සාත්තු සප්පායම් කරගෙන ඉන්නවා මැඩම්ටත් එතරම් සනීපයක් නැහැ කියා ඉක්මනට එන බවත් පැවැසුවා. නමුත් මේ සම්බන්ධව කිසිම දෙයක් අපි දන්නේ නැති බවද වැඩිදුරටත් ඇය පැවැසුවාය.
එතැනදී මොවුන් මෙතෙක් නොදන්නා 'මැඩම්' නමැති අය ගිවිසුමෙන් එළියට පැමිණ ඇති අතර මෙතෙක් ඔවුන් කර ඇත්තේ වංචා සහගත කරුණුය.
ඒ සමඟම මියගිය අයගේ දියණිය වූ ඩිල්ෂානි විදේශ ගමන් බලපත්‍රය ගැනද කරුණු දැක්වූවාය. එයද වංචා සහගතව සාදා ඇති බව ඇය ඔප්පු කළේ මෙසේය. අම්මාගේ උපන් දිනය 1975.09.23 ගමන් බලපත්‍රයේ 1983.09.23 සඳහන් කර ඇති අතර ජාතික හඳුනුම්පත 757671379ඍ නමුදු ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්තේ 837675235ඍ යන අංක යයි. ඒ අනුව ජාතික හැඳුනුම්පතද වංචා සහගතව වෙනස් කර වයස අඩු කර ගෙන ඇත. මෙය කාගේ වැඩක්ද? අම්මා දැනුවත්ව කරගත්තාද? එහෙම නොමැතිව ඔවුන් විසින් කළ එකක්ද කියා සොයා ගැනීමට නොහැකි බවද ඇය පැවැසුවාය.
මියගිය ඉනෝකාගේ පියාවන කේ.පී. විජේරත්න මහතා පැවැසුයේ. 21 වැනි දින මගේ දුරකතනයට රාත්‍රි 11ට පමණ පණිවුඩයකින් කතා කළ බවය.
ඔය සංගීතාගේ තාත්තාද කියා ඇහුවා. මම ඔව් කීවා. සංගීතා කියන නම පිට අය දන්නේ නැහැ. ගමේ අය පමණයි සංගීතා කියන නම දන්නේ. ඒ නිසා මම උත්තර දුන්නා. ඊට පස්සේ සංගීතා ඉන්දියාවේ ගියාද කියා ඇහුවා. ඔව් කීවා. සංගීතා ඉන්දියාවේදී මිය ගොස් තිබෙනවා. බොඩි එක ගන්න හෙට උදේ 5ට කටුනායකට එන්න කියා කීවා. මම කීවා බොරු කියන්න එපා කියා. නැහැ ඇත්තටම කියා කීවා. මට මේ කතාව විශ්වාස කරන්න බැරි නිසා කෑගල්ල පොලිසියට ගිහින් විස්තරය කියලා පැමිණිල්ලක් දමන්න ඕනෑ කිව්වා. පොලිසියෙන් ඇහුවා කාටද පැමිණිල්ල දමන්නේ කියා. උදේ කටුනායක ගිහින් බලන්න කියා පොලිසියෙන් කීවා. මා එතැනදී මගේ ෆෝන් එක පොලිසියට දීලා කතා කරන අයගේ නම අහගත්තා.
දුරකතනයට කතා කර තිබෙන්නේ මීගමුව කුලරත්න මාවතේ පදිංචි ජේ.ඒ.එම්. වීරසූරිය කියලා කෙනෙක් බව දැනගත්තා. අපි ඔවුන් කිසිවෙක් හඳුනන්නේ නැහැ. මේ සේරම අය මේකට සම්බන්ධයි. පසුව අපි කටුනායකට ගියාට පසු ඔවුන් නැවැත කතා කරලා ගුවන් තොටුපොළ ළඟට එන්න කිව්වා. එතැනට ගියාට පස්සේ මෘත ශරීරය මල් ශාලාවට ගෙන යමු කීවා. එතැන කාන්තාවක් සිටියා. එයා ඔය මැඩම් කියන අය වෙන්න පුළුවන් කියා අපි සිතුවා.
ඇය කීවා මගේ මහත්තයා අසනීප වෙලා ඉන්දියාවේ ඉන්නේ. එයාට අවශ්‍ය වෙලා තමයි ඉනෝකාගේ අක්මාවේ කොටසක් ගත්තේ. එයා කැමැත්තෙන්මයි දුන්නේ. මුදල් දෙන්නම් කීවා. ඉනෝකා තෝරා ගත්තේ. අක්මාව දෙන්න 60 දෙනෙක් විතර ආවා. ඒත් හොඳම එකක් වශයෙන් අපි ඉනෝකාගේ අක්මාවෙන් කොටසක් ගත්තා කීවා. මේ සම්බන්ධව නීත්‍යනුකූලව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. අපි මුදල් දෙන්නම් ඕන තරම්, ඒ වගේම දුවටත් සලකන්නම් කියා කීවා.
මේ ගැන අපට සැක සිතුණු නිසා සිද්ධිය කටුනායක පොලිසියට පැමිණිලි කළා. එහිදී පොලිසිය විසින් මෘත ශරීරය මීගමුව රෝහලට බාර දුන්නා. එහිදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ශරීරයේ කොටස් රස පරීක්ෂක වෙත යැවීමට කටයුතු කර ලබන මස 11 වැනිදාට නැවැත පරීක්ෂණ පවත්වන බව පැවැසුවා. මරණයට හේතුවක් කීවේ නැහැ.
එහෙත් පරීක්ෂා කරන ලද අධිකරණ වෛද්‍යවරයා මට කීවා අක්මාවේ කොටසක් නොවේ මුළු අක්මාවම නොමැති බවට සැක සහිත බව. ඒ අනුව ශරීරයේ වැදගත් කොටස් සියල්ලම ගෙන ඇතැයි අපට සැක සිතෙනවා, මෘත ශරීරය කපා මැහුම් දමා තිබූ ආකාරයට යයිද පැවැසීය.
ඉන්දියාවේ චෙන්නායි නුවර ගේරා්බල් නම් ආරෝග්‍ය ශාලාවේදී මෙම ශල්‍යකර්මය කර ඇති අතර එම රෝහලින් නිකුත් කරන ලද මරණයට හේතු දක්වා වූ ලිපියේ සඳහන්ව ඇත්තේ අවයවවල දුර්වලතාවක් නිසා මිය ගොස් ඇති බවයි. මේ සහතිකය චෙන්නායි (වෛද්‍යවරයකුගෙන් අසා දැනගත් පරිදි) ගේරා්බල් රෝහලේ වෛද්‍යවරයකු වූ ගෝපති නරසිවම් අස්සන් කර ඇත.
මෘත ශරීරය මුද්‍රා තබා වසා ඇති අතර මෘත ශරීරය හඳුනා ගැනීමට නොහැකි වන සේ ඉදිමී නරක් වී ඇති බවත් පැවැසීය. පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ වෛද්‍යවරයා අප සමඟ පැවැසුයේ ඇය දින ගණනාවකට පෙර මිය ගොස් ඇති බවයි.
මියගිය ඉනෝකා දමයන්ති විජේරත්නගේ අවසන් කටයුතු 26 වැනි දින පලිපාන සුසාන භූමියේදී සිදුකරන ලදී.
උපුටා
ගැනීම -මව්බිම
-සබැදි
පුවත්-