ලෝක විනාශයට කලින් දවසේ ආදරණීය කලාකරුවන් මොකද කරන්නේ ?

මේ දිනවල ලෝක විනාශය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත්, වාර්තා විවිධාකාරයෙන් යුතුව ප්‍රචාරය වෙනවා.
මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බව තවත් එක් මතයක්. මේ පිළිබඳ විවිධ විද්වතුන්, මතධාරීන් විවිධ අදහස් උදහස් දක්වනවා.මොවුන් පවසන අන්දමට යම් හෙයකින් එවැනි ලෝක විනාශයක් සිදුවුව හොත් එදිනට පෙර දින අපේ ආදරණීය කලාකරුවන් කුමක් කරන්නේ දැයි ඔවුන්ගෙන් අපි විමසා බැලුවා.

පුණ්‍ය කටයුතුවල යෙදෙනවා

චන්දික නානායක්කාර

ලෝක විනාශය කියන දේ මගේ මනසේ ගොඩනැඟුවේ ජනමාධ්‍ය හරහා. ඒ ගැන අපි හුඟක් දේ එකතු කරමින් අපේ මනසේ යම් මතයක් ගොඩනඟා ගත්තේ මේ ගැන පළවෙන විවිධ අදහස් මතවාද එකතු කරගෙන. විශේෂයෙන් අපි මාධ්‍ය හරහා අහන දකින දේවල්වලින්.

මම නම් හිතන්නේ ලෝක විනාශය කියන දේ වෙන්නේ නැහැ කියලයි. හැබැයි එදාට මිනිසුන්ගේ චින්තන විප්ලවයක්, මිනිසුන් හිතන පතන ක්‍රමය විනාශ වෙලා අලුත් ක්‍රමයක් ඇතිවෙන එකද මේ විදිහට අර්ථ දක්වන්නේ කියන ගැටලුව මට තියෙනවා.

කොහොම වුණත් යම් ආකාරයකට ලෝකය විනාශ වෙනවා නම් එදිනට පෙර දින මම නම් කරන්නේ ඊළඟට යන්න ඉන්න ලෝකෙ සැපවත් කරගන්න පුණ්‍ය කටයුතුවල නියැළෙන එකයි. මොකද මම මගේ තියෙන දේවල් දන් දෙන්න ගියොත් එකිනෙකාට උදව් උපකාර කරන්න ගියොත් ඒ අයත් ඒ දේවල් ගන්නෙ නැහැනෙ.

මොකද අපි හැමෝම විනාශ වෙන හින්දා. ඒ නිසා අඩුගානේ බණක් භාවනාවක් කරමින් මානසික ශක්තිය වඩවා ගනිමින් ඒ දේට මුහුණ දෙනවා. මොකද අපි දුක්වෙලා වැඩක් නැහැනේ.

ඒත් එක්කම මම මගේ ඥාති හිතමිතුරන් සමඟ එකිනෙකාට සුබපතාගන්නවා ලබන ආත්මෙත් එකට ඉපදෙන්න කියලා. මේ ටික තමයි ලෝක විනාශය වන දවසට කලින් දවසේ මම නම් කරන්නේ.


සුපුරුදු විදියට වැඩ කරනවා

කුසුම් රේණු

මම බුදුදහම තදින්ම අදහන කෙනෙක්. මම නම් ලෝක විනාශයක් වෙනවා කියන අදහස විශ්වාස කරන්නේ නැහැ. එහෙම දෙයක් වුණොත් මම හිතන්නේ අපි ඉපදෙන්න පෙර පෙර ආත්මයේ කරපු පින් පව් කුසල් අකුසල් අනුව තමයි ඒ දේ සිදුවන්නේ කියලා.

මගේ ජීවිතයේ විශාල බලාපොරොත්තු සැලසුම් පිරිල නැහැ. අපි කරන දේ අනුව තමයි හැමදේම සිදුවන්නේ. යුද්ධය නිසා ජීවිත දහස් ගණන් නැති නාස්ති වුණා.

දැනටත් සමාජයේ විවිධ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේ භූමියට, දේශයට ජනතාවට යම් යම් ප්‍රශ්න පීඩා එන්න පුළුවන්. යම් හෙයකින් ඔය කියන දිනයට ලෝක විනාශයක් ඇති වුණොත් මම නම් ඊට පෙර දින කිසිම දෙයක් වෙනස් කරන්නේ නැහැ.

සුපුරුදු විදිහට දෛනික වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඉතින් මගේ වැඩිමල් දුව ජීවත්වන්නේ පිට රටක. ඒ නිසා එයා ළඟ නැති දුක මට දැනෙයි. ඒ වගේම මගේ අහල පහල ඉන්න හැමෝටම උදව් උපකාර කරනවා.


ලෝකයේ අන්තිම දවස කියලා වැලපි වැලපි ඉන්නේ නැහැ

නිලන්ති ඩයස්

මම දන්නා තරමින්, මම අදහන ආගමට අනුව නිශ්චිතවම කාටවත් කියන්න බැහැ මෙදාට ලෝක විනාශය සිදුවෙනවා කියලා. බයිබලයට අනුව ලෝක විනාශය සිදුවෙනවා නම් එය සිදුවන්නේ කවුරුත් දන්නේ නැති දවසක.

ඒ කොහොම වුණත් අවාසනාවකට හෝ ලෝක විනාශය යම් දිනයක සිදු වෙනවා නම් ඊට පෙර දින මම උපරිම සංතෝෂයෙන් කාලය ගත කරනවා.

ලෝකේ අන්තිම දවස කියලා වැලපි වැලපී ඉන්නේ නැහැ. ඒ වගේම ආගමික වතාවත්වල නියැලෙනවා. දුක්වෙන්න අවශ්‍ය නැහැ. මෙතෙක් කාලයක් හොඳින් ජීවත්වුණා වගේ පවුලේ හැමදෙනාම එක්ක එකට ලෝක විනාශයටත් මුහුණ දෙනවා.



පවුලේ අයත් එක්ක එදාට එකට ඉන්නවා

චන්න පෙරේරා

අද වෙනකොට ලොකු මතයක් සමාජයේ ඇතිවෙලා තියෙනවා ලෝක විනාශය ගැන. එහෙම දෙයක් වෙනවනම් අපි හැමෝටම එයට මූණදෙන්න වෙනවා.

නමුත් ඒ දේ ඔය කියන මේ 21 වැනිදාට නොවෙන්නත් පුළුවන්. සුපුරුදු විදිහට එදිනෙදා වැඩ නොකර අපි හැමෝම ලෝක විනාසෙ වෙනවා වෙනවා කියලා හිතන එක නම් එතරම් සුබදායක දෙයක් විදිහට මම දකින්නේ නැහැ.

එහෙම හිතනකොට එතැන විශාල බලයක් එක්කාසු වෙලා ලෝක විනාශය කිනන දේ සිදුවෙන්න වුණත් පුළුවන්. මේ හැමදේම බලපාන්නේ මිනිසුන් හිතන විදිහට.

කොහොම වුණත් ලෝක විනාශය යම් දිනයක සිදුවෙනවා නම් එදිනට පෙර දින මම නම් අපේ පවුලේ අයත් එක්ක ඉඳීවි. එය තමයි වැදගත් වන්නේ. ඒ අයත් එක්ක එකට ඒ දෙයට මුහුණ දේවි.


එදාටත් මං ෂුටිං

චතුරිකා පීරිස්

ලෝක විනාශය සිදුවෙනවා නම් ඇත්තටම මම නම් ඒ ගැන හිතලා බයවෙලා මැරෙන්න කැමැති නැහැ. ලෝක විනාසෙ සිදුවන දවසට කලින් දවසෙත් මම නම් ෂූටින් කරයි.

සුනාමි ආවත් ලෝක විනාසෙ ආවත් මොන දේ ආවත් මම මගේ සුපුරුදු වැඩ කටයුතුවලම නිරතවෙයි. අවසන් විනාඩිය වුණත් සතුටින් ගත කරලා මැරෙන්න තමයි මම කැමැති.

මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි කියන දේ අපි දන්නවානේ. ඒ නිසා එදාට පවුලේ අය එක්ක ඉඳල එකට මැරෙන්න ඕන, ඒකට මුහුණ දෙන්න ඕන කියලා මම හිතන්නේ නැහැ.

මම හිතන්නේ මුළු ලෝකෙම විනාශ වෙනවා නම් අපි කවුරුත් ඉතුරු වෙන්නේ නැහැනෙ. ඒ නිසා ඒ ගැන වැඩිය හිතන්න දුක්වෙන්න ඕන නැහැනේ කියලයි.



Gossip Lanka Hot News Previous News Archive