කටුනායක, වෙලබඩ පාරේ හෝටලයක කාන්තාවක් සමඟ ලිංගික හැසිරීමක යෙදී සිටියදී ඔවුන් සිටි කාමරයට කඩා වැදුණු පිරිසක් එම අවස්ථාව ඡායාරූප ගතකොට පිරිමියාගෙන් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා එය නොදුන් විට ඔහුට අයත් රුපියල් ලක්ෂ 26ක් වටිනා වෑන් රිය පැහැරගෙන ගොස් තිබේ.
වෑන් රථයද නතරකොට තිබී ඇත්තේ ඔහු අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාව සමඟ සිටි හෝටල් භූමියේය.
මොහු එම කාන්තාව සමඟ ලිංගික හැසිරීමක යෙදී සිටි අවස්ථාව ඡායාරූප ගතකිරීම සිදුව තිබෙන්නේ කාන්තාවගේ අනුදැනුම ඇතිව බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී තිබේ.
එම ඡායාරූප ප්රදර්ශනය නොකිරීමට නම් රුපියල් ලක්ෂ පහක් ලබාදෙන ලෙස පිරිමියාගෙන් ඉල්ලා ඇති බවත්, එය නොදුන් නිසා ඔහුට අයත් රුපියල් ලක්ෂ 26ක් වටිනා වෑන් රථය පැහැරගෙන ගොස් ඇති බවත් පොලිසිය කියයි. වෑන් රථය පැහැරගෙන යෑම පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව වැලිවේරිය ප්රදේශයේ තිබී එම වෑන් රිය සොයාගත් බව පොලිසිය ප්රකාශ කරයි.
සැකකටයුතු කාන්තාවද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය මීගමුව මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.