අලුත්කඩේ ගසක් උඩ උපවාසයේ !

ගෝල්ඩන් කී නඩුව සාධාරණ හා යුක්ති සහගත ලෙස විභාග නො වන බව ද; ඊට අදාළ විනිශ්චයක් ලබාදීම දිගින් - දිගට ම ප්‍රමාද කරන බව ද කියන ගෝල්ඩන් කී තැන්පත්කරුවෙක් ඊයේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විශාල ගසක මුදුනට නැඟ උපවාසයක් ආරම්භ කර තිබේ.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමන්ත ශාන්ත කුමාර නම් මේ තැන්පත්කරුවා ගෝල්ඩන් කී ආයතනයෙහි රුපියල් ලක්‍ෂ තුන්සිය පහකට අධික මුදලක් තැන්පත් කර ඇති අතර තමාට මුදලත් - ජීවිතයත් දෙක ම අහිමිවෙමින් පවතින බැවින් ඊට වගකිවයුතු වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අභියෝග කරමින්; හැකි නම් නීතියට අනුකූලව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට සාධාරණය ඉටුකර දෙන්නැ’යි ප්‍රකාශ කර සිටී.

උපවාසකරුවා රැඳී සිටින ගස වටා රොක් වූ තවත් තැන්පත්කරුවෝ පිරිසක් අගවිනිසුරුතුමියට හා ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි ව විරෝධතා දක්වමින් සිටිති.


ගෝල්ඩන් කී පෙත්සම් විභාගය අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය යටතේ විභාග කිරීම නිසා එකී තැන්පත්කරුවන් ගස් ගල් උඩ ළඟින තත්ත්වයකට පත් වූ බවට තැන්පත්කරුවෝ ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණය අභියස දී පැවසූහ. ආසියාවේ ලොකුම මංකොල්ලය හා ශ්‍රී ලංකාවේ ලොකුම නඩුව ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය ඉදිරියේ විභාග වෙමින් තිබියදී ඇගෙන් එය උදුරාගෙන එය විභාග නොකර තබාගෙන සිටින අකීකරු අගවිනිසුරුවරිය පලවා හැර නීතිගරුක රටට ආදරය කරන අගවිනිසුරුවරියක් පත්කරන ලෙස තැන්පත්කරුවන් වගකිවයුත්තන්ගෙන් හා විධායකයෙන් ඉල්ලා සිටියහ.

ගෝල්ඩන් කී හි ලක්‍ෂ 305 කට අධික මුදලක් තැන්පත් කළ රඹුක්කන පදිංචි සමන් ශාන්ත කුමාර මහතා ඊයේ (20) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට ඇති මාර ගසකට නැඟ උපවාසය ආරම්භ කරමින් ඉල්ලා සිටියේ දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහා තබා ඇති තම ගෝල්ඩන් කී නඩුව කඩිනමින් විභාග කරන බවට පිළිතුරක් ලැබෙන තෙක් සිය උපවාසය අත්නොහරින බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය තමන්ට හා තැන්පත්කරුවන්ට 2011 ජූනි 29 වැනි දින විසඳුමක් ලබා දුන් බවත්, එම විසඳුමට අනුව තැන්පත්කරුවන්ගේ මුදලින් 45% ක් මේ වසර අවසානයේ හිමිවීමට තිබූ බවත්, එම කටයුතුවලට ද හරස් කැපුවේ අගවිනිසුරුවරිය බවට ඔවුන් පැවසූහ. විනිසුරු ශිරාණි තිලකවර්ධන මහත්මිය ලබා දුන් විසඳුම ක්‍රියාත්මක කිරීමට හෝ තැකීමවත්, අනුමත කිරීමටවත් අගවිනිසුරුවරිය කටයුතු නොකිරීම නිසා තමන් අගාධයට පත් වූ බව පැවසූ ශාන්ත මහතා සාධාරණ විසඳුමක් ලබා නොදුනුහොත් තමා ගසින් නොබසින බව කීය.

වසර හතරක් අධිකරණයේ විසඳුමක් නොලැබුණු තමාට රජයේ හෝ මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙසට ඔහු ඉල්ලා සිටී. තවද වසර 30 ක කුරිරු යුද්ධය නිමා කළ ජනාධිපතිතුමාට මෙයට විසඳුමක් ලබාදිය හැකි බවට ඔහු විශ්වාසය පළ කෙළේය.

දරුවන් දෙදෙනකුගේ පියකු වන ශාන්ත මහතා විමලසුරේන්ද්‍ර විදුලි බලාගාරයේ සේවය කර දහඩිය මහන්සියෙන් ඉපැයූ මුදල් පිළිබඳව කිසිදු තැකීමක් නොකර අගවිනිසුරුවරිය නඩුව බහා තැබීම සාධාරණ නොවන බව ද හෙතෙම කියයි. ඔහු ගස උඩ උපවාස කරද්දී ගෝල්ඩන් කී තැන්පත්කරුවෝ පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කිරීමෙන් ඔහුට සහාය පළකරමින් ගස යට උද්ඝෝෂණය කළහ.

තරාදියක අනුරුවක් ප්‍රදර්ශනය කළ ඔවුන් එක් පැත්තකට ට්‍රිලියම් නිවාස සංකීර්ණය හා මුදල් බරවී ඇති ආකාරය ප්‍රදර්ශනය කළහ. ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ සංගමයේ සභාපතිනි දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය පැවසුවේ අගවිනිසුරුවරියට එරෙහිව පැවැති තේරීම් කාරක සභාවේ ද ;ගීල්ඩන් කී නඩුවේදී සිදු වූ ගනුදෙනු සම්බන්ධයෙන් ඇය වැරැදිකාරියක වී ඇති බවය. මෙහිදී උපවාසයේ යෙදී සිටි ශාන්ත කුමාර මහතාට රජය නියෝජනය කරමින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැමිණ සිය කාරණාව ජනාධිපතිතුමා වෙත සැලකරන බවට පොරොන්දු දීමෙන් අනතුරුව ඔහු ගසින් බිමට බැස්සේය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන් නීතියේ සාධාරණත්වය ඉල්ලා අධිකරණයට ගියත් ඉන් ඵලක් වී නැහැ. ශිරාණි තිලකවර්ධන විනිසුරුවරිය හමුවේ විභාග වූ නඩුව උදුරා අගවිනිසුරුවරිය බහා තැබුවා. ගරු ජනාධිපතිතුමනි, වසර 30 ක කුරිරු යුද්ධය අවසන් කළාක් මෙන් අධිකරණයේද ස්වාධීනත්වය රැක දෙන්න යැයි ගසින් බිමට බැසූ ශාන්ත මහතා පැවැසීය.

Gossip Lanka Hot News Previous News Archive