ක්‍රිස්තු පූර්ව 2000 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 250 යුගය දක්වා පුරාණ මායාවරුන් ගේ ස්වර්ණමය යුගය පැවති බව ඉතිහාසයේ සඳහන් වේ. ඔවුහු මහත් දේව භක්තිය ඇති ජන පිරිසක් වූහ. මායා ඇදහීම අනුව කුක්කුල්කන් යනු පිහාටු සහිත සර්පයෙකි. මෙක්සිකෝවේ චිචන් ඉට්සා හි කුක්කුල්කන් වෙනුවෙන් මිනිස් බිලි පූජා පවා පැවැත්වූ බවට සාධක තිබේ. මෙක්සිකෝවේ චියාපාස් වැසියන් අතර, පවතින පුරාවෘත්තයට අනුව මේ පිහාටු සහිත සර්පයා සූර්ය දෙවියන්ගේ සුරතල් සත්වයා ය. එසේම නියෝජිතයා ය. ලෝක විනාශය සිදුවන දිනයේදී හිරු දෙවියන් විසින් කුක්කුල්කන් ව මෙලොව ට එවන බව මායාවරු කීහ.
පුරාණ මායාවරු සිය දෙවියන් වෙනුවෙන් අරුම පුදුම දේවස්ථාන ඉදිකළෝය. ඒවා මිසරයේ පිරමීඩවලට හැඩයෙන් සමාන වූ නමුත්, පියගැටපෙළ සහිත ව ඉදිකෙරිණි. මායා ශිෂ්ටාචාර මිනිස් ශ්‍රමයෙන් විපුල ලෙස සමෘද්ධිමත් ව පැවතියෙන් මහා ගල් කැට යොදාගෙන ඒවා ඉදිකිරීම අරුමයක් වූයේ නැත. හුණුගල් ආරුක්කුවලින් ඔවුහු සිය රජුන් සඳහා මාලිගා ද ඉදි කළහ. මෙක්සිකෝවේ චිචන් ඉට්සා දෙව්මැදුර නූතන ලෝකයේ ගෘහනිර්මාණ ශිල්පීන්ගේ ද නළල විමතියෙන් රැලි ගන්වන එවන් නිර්මාණයකි.
පුරාණ මායාවරු සිය දරුවන්ගෙන් අස්වාභාවික දේහ ලක්ෂණ දැකීමට පි‍්‍රය කළෝය. පැතලි නළල් තලය සහ වපර ඇස් ඒ අතරින් ප්‍රධාන ය. පැතලි නළල් තලයක් ලබාගැනීම සඳහා ළදරුවන්ගේ නළල් තලයට ඉතා කුඩා වියේදී ම ලෑල්ලක් වැනි දෘඪ වස්තුවක් තබා බඳින ලදී. මෙය උසස් සමාජ මට්ටම් සහිත මායාවරුන් අතර, අති බහුල විය.
වපර ඇස් වාසනාවේ සංකේතයක් ලෙස සැලකුණෙන්, ඒ සඳහා නොවරදින උපක්‍රම යොදාගැනිණි. එයින් එකක් වූයේ අලුත උපන් ළදරුවාගේ ඇස් ඉදිරිපිට, ඇස්වලට ඉතා ආසන්නයෙන් පැද්දෙන වස්තූන් එල්ලා තැබීමයි. පුරාණ මායාදරුවන් ට නම් තැබීම බොහෝවිට සිදුකෙරුණේ වසරේ ඔවුන් උපන් දවස පදනම් කර ගෙනය. වසරේ සෑම දිනයක් සඳහා ම නමක් තිබිණි.
මායාවරු ලෙඩරෝග සුවකිරීමේ අතිදක්ෂ යකැදුරෝ ද, වෛද්‍යවරු ද වූහ. ශිෂ්ටාචාරයේ සිටි උගත් ම හා දක්ෂම තරුණයන් මේ ශාස්ත්‍රය උගැනීම සඳහා යොමුකෙරිණි. රෝග සුවකිරීම, අනාවැකි කීම සහ සොබාදහමේ බලවේග පාලනය කිරීම සම්බන්ධයෙන් අතරමැදියන් ලෙස ඔවුහු කටයුතු කළහ. මායාවරු හිසකෙස්වලින් තුවාලවලට මැහුම් දැමුවෝය. නිල් මැණික් හා ජේඩ්වලින් බොරු දත් ඇඳි ද සවි කළහ. හතු, දුම්කොළ සහ මධ්‍යසාරමය පැළෑටි ඔවුන් සිය දෛනික ජීවිතයේ දී භාවිත කළේ වේදනා නාශක වශයෙනි.
උණු වාෂ්ප ස්නාන අංගන හෙවත් සෝනා ද මායාවරුන් සතුව තිබූ බවට මායා නටඹුන් සාක්ෂි දෙයි. මේ සෝනාවල බිත්ති සහ පියැසි සාදා තිබුණේ පාෂාණවලිනි. කාමරය තුළ උණුසුම් පාෂාණ ද තිබූ අතර ජල වාෂ්ප ඇති කෙරුණේ, ජලය එම රත්වූ පාෂාණ මත ට වත් කිරීම මගිනි. මායා රජවරුන් දෛනික ව උණු වාෂ්ප ස්නානය කළේ එය නිසැකව ම ශරීරය පිරිසුදු කර ශරීරයේ විස නසන බව ඔවුන් දැන සිටි හෙයිනි.
එදා 1696 වසරේ ස්පාඤ්ඤ ජාතිකයන්, මෙක්සිකෝවේ චිචන් ඉට්සා වෙත ගොඩ බැස අවසන් මායා රජු වූ කානෙක් රජු ව මරානොදැමී නම් මායා ශිෂ්ටාචාරය තවත් කලක් පවතිනු ඇත. ශුභාරංචිය වයන්නට එහි ආ සුදු ජාතිකයන් මායාවරුන්ගේ දේශය හඳුනාගත්තේ මිලේච්ඡ පාරාදීසයක් ලෙස ය. ඉක්බිති ලොව පුරාම පැතිරුණේ මායාවරුන් පිළිබඳ ඔවුන් කී කතාන්දර ය.
මායාවරුන් ගේ පිරමීඩ හැඩයේ අබිරහස් දේවස්ථාන සහ මිනිස් බිලිපූජා ගැන මිස ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ පැවැති දියුණුව පිළිබඳ ඒ කතාන්දරයන් හි අන්තර්ගත වූයේ අල්ප තොරතුරු ය. මේ මීසොඅමෙරිකානු ශිෂ්ටාචාරය ප්‍රාග් කොලොම්බියානු යුගයට අයත් ලෝකය දන්නා, සම්පූර්ණ වශයෙන් විකසනය වූ එකම ලිඛිත භාෂාවට හිමිකම් කී බව හෙළිවූයේ මායා දේශය ගැන බොහෝ මිත්‍යා කථාන්දර ලොව පුරා වැපිරුණු පසුව ය.
මායාවරුන්ගේ සංස්කෘතිය බිඳ වැටුණේ ඇයි? අබිරහස වන්නේ එයයි. 8 සහ 9 වැනි සියවස්වලදී දකුණුදිග පහත්බිම්වල කේන්ද්‍රගත ව තිබූ මායා ජනාවාස ක්‍රමයෙන් අඩුවෙන්නට පටන් ගත්තේය. මෙසේ සිදුවූයේ යුද්ධ, සියලු වෙදකම් පැරදවූ වසංගතයක් හෝ වෙනත් අබිරහස් හේතුවක් නිසා විය හැකිය. ඇතැම් පර්යේෂකයන් සඳහන්කරන්නේ එකදිගට වසර 200ක් පැවති දුර්භික්ෂ සමයක් විසින් මායාවරුන්ගේ සංස්කෘතිය විනාශ කරන්නට ඇති බවයි.
මායාවරුන් අතුරුදන් වූ ශිෂ්ටාචාරයක් යැයි කීම රසවත් ය. එසේ සිතීමද රසවත් කරුණක් වන්නේ ඒ සමඟ හැමවිටෙකම අබිරහස් බව තැවරී තිබෙන නිසා ය. එහෙත් යථාර්ථය වන්නේ මායාවරුන් මේ මොහොතේ ද ජීවත්වෙමින් සිටිනා බවයි. ඔවුන් නිසැක වශයෙන් ම මායාවරු මිලියන 7ක් හෙවත් ලක්‍ෂ 70ක් අද ද පෘථිවි තලයේ දිවිගෙවති.
මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපය, කැම්පෙචේ, ක්වින්ටානා රූ, තබස්කෝ සහ චියාපාස් හිදී ඔබට ඔවුන් හමුවිය හැකිය. බෙලයිස්, ගෝතමාලා සහ හොන්ඩියුරාස් හා එල්. සැල්වදෝරයේ බටහිර කොටස්වල ද දිවිගෙවන්නේ මායාවරුන් ය. මේ ජනයා අතරින් බහුතරය නූතන සංස්කෘතිය සමඟ මිශ්‍රව දිවිගෙවතත් ඔවුන් අදටත් සිය මූලික භාෂාවක් ලෙස නොවැරදීම මායාවරුන්ගේ බස කතා කරති. මෝරා හැඳින්වීමට ඉංගී‍්‍රසි බසෙහි යෙදෙන ‘ෂාක්’ යන වදන සහ කොකෝවා යන වදන්, ඒ ආකාරයෙන්ම ඒ අර්ථ සඳහා ම මායාවරුන්ගේ බසෙහි ද යෙදේ. ඔබට ඔවුන් මායාවරුන් ලෙස හඳුන්වාදිය නොහැක්කේ, මායාවරුන්ගෙන් පැවතගෙන එන්නන් මායාවරුන් ලෙස හඳුන්වාදීම ට ඔබේ දිව පැටලෙන්නේ නම් පමණි.
මායා දින දර්ශනය
ලෝක විනාශය 2012 දෙසැම්බර් 21 වැනිදා උදෑසන 11 පසුවී විනාඩි 11 ට සිදුවන බවට පවතින දුර්මතය ඇති කළේ මායාවරුන්ගේ මායාකාරී දින දසුනක් විසිනි.
මායාවරු වීජ ගණිතය නොදත්හ. එහෙත් ලෝකයේ සෙසු දින දසුන් ක්‍රම වෙත ද මහත් බලපෑමක් කළ හැකි ගණිත බලයක් ඔවුන් වෙත විය. එයට හේතුවක් තිබිණි. බිංදුව හෙවත් ශුන්‍යය නමැති සංකල්පය සොයාගත්තේ ඔවුන් විසිනි. පුරාවෘත්තවලට අනුව ඔවුන්ගේ එක් දින දසුන් ක්‍රමයක් නිර්මාණය වූයේ ක්‍රි. ව. 1050 යුගයේදී මෙක්සිකෝවේ චිචන් ඉට්සා හි කුක්කුල්කන් පිරමිඩයේ රටාව ඇසුරු කර ගනිමිනි.
මායා දින දර්ශනය කුක්කුල්කන් පිරමිඩයේ පියගැටපෙළ හතර සකසා ඇත්තේ එක් පියගැටපෙළක පියගැට 91 ක් සහ මධ්‍යයේ පැතලි තිරස් වේදිකාවක් නිර්මාණය වන ලෙස ය. මේ අනුව පියගැට 365 ක් නිර්මාණය වී තිබේ. විශ්වාස කෙරෙන්නේ සූර්ය දින දසුනේ දින 365 සහ මේ පිරමිඩයේ සැකසුම අතර, දැවැන්ත සම්බන්ධයක් පවතින බවයි.
එහෙත් මෙයට වඩා අතිශය සංකීර්ණ දින දසුන් ක්‍රම එයට බොහෝ කලකට පෙර පටන් මායාවරුන් විසින් නිර්මාණය කර ගෙන තිබිණි. විශ්වාසයේ ආකාරයට ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබෙන්නේ, විශ්වය පිළිබඳ දැනුමයි. මායාවරුන්ගේ මායා දින දසුන් මායාකාරී ය. යුකැටෙක් හි අතිදක්‍ෂ ගණිතකරුවන් හෝ නක්ෂත්‍රවේදීන් විසින් භාවිත කළ සංකීර්ණ ම ගණනය කිරීම් රටාවන්ගෙන් එය සුසැදී තිබේ. ලොව දියුණුතම වීජ ගණිත ක්‍රම එකී ගණනය කිරීම් සඳහා භාවිත කර තිබේ. මායාවරුන් දින ගණන් කළ ක්‍රම 17 කටත් වඩා ඇත. එහෙත් මේ සංකීර්ණත්වය නොතකා මායා දින දසුන ලෝකය කවදත් මවිත කළේ එහි තිබෙන අතිශය නිරවද්‍ය භාවය නිසා ය.
මායාවරුන් හට තිබුණේ එකම දින දසුනක් ද නොවේ. මායාවරුන්ගේ සංවත්සරික දින දසුනට දින 260 ක් වූ අතර, සූර්ය කැලැන්ඩරයට දින 365 ක් විය. හාබ් ලෙස හැඳින්වූයේ දින 365 ක් සහිත සූර්ය කැලැන්ඩරයයි. මාස 19 ක් සහ දින පහක් වර්ෂයකට තිබෙන බව කී කැලැන්ඩර් ක්‍රමයක් ද ඔවුහු භාවිත කළහ. වයේබ් ලෙස හැඳින්වූයේ එම කැලැන්ඩරයයි. දින 28 හි චක්‍රවලින් සමන්විත තුන් – උක් කැලැන්ඩරය මගින් දැක්වූයේ චන්ද්‍ර මාස ක්‍රමයයි. එනිසා මෙය චන්ද්‍ර දින දසුන් ක්‍රමය ලෙස හැඳින්වේ. මායාවරුන් විසින් චන්ද්‍ර චක්‍රය, සමාන දින 7 හි කොටස්වලින් යුක්ත කුඩා චක්‍ර 4 කට කඩා තිබිණි.
මායාවරුන් 13 සහ 20 සැලකූයේ ශුද්ධ වූ ඉලක්කම් වශයෙනි. මායා විශ්වාසයට අනුව 13 මගින් සංකේතවත් වන්නේ ඉලක්කම් ය. 20 මගින් සූර්යයා සහ කැටයම් කළ සතුන් සංකේතවත් විය. මෙම 13 හා 20 පදනම් කර ගත් කැලැන්ඩර් ක්‍රමයක් ද මායාවරුන් විසින් භාවිත කළ අතර, ටිසොල්කින් ලෙස එය හැඳින්වේ. ටිසොල්කින් හි තිබෙන කුඩා චක්‍ර හතර මගින් දැක්වෙන්නේ සෘතු හතරයි. ඒ එක් සෘතුවක් දින 65 කින් සමන්විත වේ. සෘතු හතර ට සූර්යයන් සිව් දෙනකු විසින් රැකවල් දමයි. චික්හාන්, ඔක්, මෙන් හා අහායු යනු ඒ සූර්යයන් සිව් දෙනා ය. යුකැටන් අර්ධද්වීපය, ගෝතමාලා, බෙලයිස් සහ හොන්ඩියුරාස් යන රටවල ජීවත්වන සාම්ප්‍රදායික මායාවරු අදටත් මේ සිව් සූර්ය ටිසොල්කින් දින දසුන භාවිත කරති.
එහෙත් දීර්ඝ දින ගණනය කිරීමේ ක්‍රමයකින් යුත් අතිශය සංකීර්ණ දින දසුනක් ද ඔවුන් සතු විය. ඇත්තෙන්ම එය දින දසුනකට වඩා චක්‍ර කැලැන්ඩරයකි. එනම් එයින් විදහා දැක්වෙන්නේ එක් පෘථිවි චක්‍රයක පැවැත්මයි. ලෝකය 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වේ ය යන අනියම් භීතිය ජනනය වීමට මුල්වූයේ ද මෙම දින දසුනයි.
නූතන ලෝකය මෙම මායාකාරී දින දසුනට ලබා දී ඇති නම ජෝර්ජියානු ප්‍රොලෙප්ටික් දින දසුන යන්නයි. එහිදී දින ගැනීම සිදුවන්නේ ආපස්සට ය. ඒ අනුව ලෝකය බින්දුව හෙවත් ශුන්‍යය වන දිනයට ආ විට එක් කැලැන්ඩර් චක්‍රයක් අවසන් වේ.
මායාවරුන් දෙසැම්බර් 21 වැනිදා සිය අවසන් කැලැන්ඩර් දිනය ලෙස තෝරා ගත්තේ ඇයි මායාවරුන් එදවසේ විශේෂත්වයක් හඳුනාගෙන තිබුණාද ලෝක විනාශය පිළිබඳ කල්පිත ගොඩනඟන ඇතැම් විචාරකයන්ට අනුව මේ සඳහා පිළිතුර සොයාගත යුත්තේ මායාවරුන් සතුවූ අසිරිමත් තාරකා විද්‍යාත්මක දැනුම ආශ්‍රය කර ගනිමිනි. මායා විශ්වාසය වූයේ විශ්වයේ තිඹිරිගෙය ක්ෂීරපථයේ හරි මැද පිහිටන තාරුකා රහිත කලාපය වන කළු කුහරය වන බවයි. දෙසැම්බර් 21 වැනිදා ට මේ කළු කුහරය පෘථිවිය සහ සූර්යයා එකම සරල රේඛාවක සිටින සේ පිහිටයි. මෙසේ වනුයේ වසර විසි හය දහසකට එක් වරකි.
එම දීර්ඝ කැලැන්ඩරය අනුව ඔවුන්ගේ දින චක්‍ර ගණනය කෙරිණි. එහි දීර්ඝතම දින ගණනය වන දින 1,872,000 හෙවත් වර්ෂ 5,125.37 කින් එක් පෘථිවි චක්‍රයක් අවසන් වේ. ඉන්පසු නව චක්‍රයකට ලෝකය ගමන් කරයි. මේ දින දසුනට අනුව මායාවරුන්ගේ සංස්කෘතියේ මූල බීජය ලෙස සැලකෙන පළමු මැවුම් යුගය ක්‍රිස්තු පූර්ව 3114 අගෝස්තු 11 වැනිදායින් ආරම්භ වේ. එවිට එම මැවුම් චක්‍රය 2012 ශීත නිවෘත්තියෙන් අවසන් වේ. ලෝක සම්මත වේලාව අනුව 2012 වර්ෂයේ ශීත නිවෘත්තිය උදා වන්නේ පෙරවරු 11.11 ටය.
විද්‍යාත්මක ව සිතන විට මායාවරුන්ගේ දින දසුනේ දෙසැම්බර් 21 වැනිදායින් පසු යුගයක් ගැන සඳහන් නොවන්නේ ඔවුන්ගේ කැලැන්ඩර ක්‍රමය අනුව එයින් පසු නව යුගයක් බිහිවන නිසාය. පැරණි මැවුම් යුගය ඇරඹුණු දිනය “ඩේ සීරෝ” හෙවත් “ශුන්‍ය දිනය” ලෙස ඔවුන් නම් කර තිබිණි. මායා දින දසුනේ මේ දිනය සංඛ්‍යාත්මක ව සටහන් වන්නේ 13.0.0.0.0 ලෙස ය. ඒ අනුව දෙසැම්බර් 21 වැනිදා උදෑසන 11.11 ට පැරණි යුගය උදා වන අතර මායාවරුන්ට අනුව එහි තේරුම ලෝකය නැවතත් ශුන්‍ය දිනය වෙත කැරකැවෙන බව ය.
මේ නිසා ශුන්‍ය දිනය යනු ලෝකය විනාශ වන දිනය නොව ලෝකයේ නව යුගය නැවත ආරම්භ වන දිනය ලෙස සැලකීම වඩාත් බුද්ධි ගෝචර ය. පුරාණ මායාවරුන් අද සිටියේ නම් ඔවුන් මේ දිනය සමරනු ඇත්තේ නව යුගයක උදාව සනිටුහන් කරන නව අවුරුදු දිනයක් වශයෙනි. හරියට අප අද භාවිත කරන ජෝර්ජියානු කැලැන්ඩරයේ හැම දෙසැම්බර් 31 වැනිදාවකට පසුවම ජනවාරි පළමුවැනිදාවක් උදාවන්නා සේ ය.
වසර 1200 ක් පැරණි ශිලාගත මායා කැලැන්ඩරයක් ගෝතමාලාවෙන් සොයාගත් පුරා විද්‍යාඥ විලියම් සැටුර්නෝ නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාවට වරක් හෙළිකර තිබූ පරිදි එම ගෝතමාලා ගල් පව්ව මත මායාවරුන් 2012 දෙසැම්බර් 21 වැනිදායින් පසුවට උදා වන දින පිළිබඳව ද සටහන් තබා තිබේ. දෙසැම්බර් 21 වැනිදා හෙවත් හෙට ලෝක විනාශය සිදු වේ නම් එයින් පසු දින ගැනීමක් අවශ්‍ය නොවන බව වටහා ගැනීමට මහා බුද්ධියක් අවශ්‍ය නැත.
උපුටා
ගැනීම දිනමිණ