දැරියන්ට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සලස්‌වා ගුරුවරයා අතවර කරයි.

රත්නපුර නගරයේ බාලිකා විදුහලක 5 වන වසරේ බාලවයස්‌කාර දැරියන් ගණනාවකට අතවර සිදුකළ එම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු රිමාන්ඩ් භාරයේ සිට නැවත කැඳවන ලදුව දෙසැම්බර් 21 වන දිනතෙක්‌ තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් චානිමා විඡේබණ්‌ඩාර මහත්මිය පසුගිය 12 වැනිදා නියෝග කළාය.


සැකකරු අයි. චන්ද්‍රබාලන් නමැත්තෙකි. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී වාස්‌ ගුණවර්ධන මහතාට ලැබුණු නිර්නාමික පෙත්සමක්‌ මත විමර්ශන සිදුකළ රත්නපුර පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පෙරේරා මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකාර ගුරුවරයා දැරියන්ට අතවර කර ඇත්තේ රත්නපුර නගරයේ ස්‌ථානයක ඔහු පවත්වන 5 වසර ශිෂ්‍යත්ව උපකාරක පන්තියක දී බව හෙළි වී ඇත. දැරියන්ට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සලස්‌වා ඔවුන් ඒවාට පිළිතුරු ලියන අවස්‌ථාවේ ඔහු විසින් මෙම අපචාර සිදු කර ඇත.

තවත් අවස්‌ථාවක ජුගුස්‌පාජනක ලෙස මෙම ගුරුවරයා පාසල් දැරියක්‌ අතවරයට ලක්‌ කිරීමට තැත් කළ අවස්‌ථාවක එම දැරිය විසින් ඔහුගේ අතගසා දැමූ බවත් ඇය පොලිසියට පැවසුවාය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන අවස්‌ථාවේ සැකකරුගේ අතවරවලට ගොදුරු වූ දස හැවිරිදි දැරියන් පස්‌දෙනකුගේ ප්‍රකාශද පොලිසිය ඉදිරිපත් කළේය. තවත් දැරියන් රාශියකට සැකකරු මේ සමාන ආකාරයෙන්ම අතවර කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කිරීම සිදුවෙමින් පවතින බවත් පොලිසිය පැවසුවේය.

මේ අවස්‌ථාවේ නීතිඥයකු ඉදිරිපත්ව සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලීමක්‌ කළද පරීක්‍ෂණවලට බාධාවිය හැකි බව පෙනී යන නිසා තවදුරටත් සැකකරු රිමාන්ඩ් භාරයේ තබන බවත් දැරියන්ගේ මව්පියන් සිද්ධිය ගැන පාසලේ විදුහල්පතිනියට දැනුම් දී තිබියදීත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගෙන සිටීම විමතියට කරුණක්‌ බව මහෙස්‌ත්‍රාත්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Gossip Lanka Hot News Previous News Archive