දැරියකට අතවර කළ චීවරධාරියා රිමාන්ඩ්

         බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කළ චීවරධාරියෙකුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය චීවරධාරියා ලබන වසරේ ජනවාරි මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කළාය. 
     රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනේ මහකැලෑගම සුදර්ශනාරාමයේ විහාරාධිපති යැයි කියන මිහිඳුපුර සුමනානන්ද නැමැති චීවරධාරියෙකි. බරපතල ලිංගික අපයෝජනයකට ලක් වු බව කියන 15 හැවිරිදි පාසල් සිසුවිය ගලෙන්බිදුණුවැව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලීසිය කියා සිටියේ මීට මාස 03 කට ඉහතදී විහාරස්ථානයේ දී පාසල් සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බවයි. 


    සැකකාර චීවරධාරියා පාසල් සිසුවියට ගලෙන්බිදුණුවැව පොලීසියේ පැමිණිල්ලක් තිබෙන බවත්, එය කතිකා කර ගැනීමට විහාරස්ථානයට පැමිණෙන ලෙස ඇයට දන්වා ඇති අතර ඇය විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ චීවරධාරියා තමන් අත වු ජංගම දුරකථනයට පොලීසියෙන් කථා කරන බව දන්වා ඇය අතට දුරකථනය දී සැකකරු විහාරස්ථානයේ කාමරයක් වෙත ගොස් ඇති බවයි. ඉන්පසුව ජංගම දුරකථන රැගෙන දැරියට කාමරය තුළට එන ලෙස මොහු දන්වා ඇති අතර ඇය කාමරය තුළට ගිය අවස්ථාවේ හිමිනම දොරවල් වසා දැරියට අතවර කර ඇති බවත් දැරියගේ කෑගැසීම නිසා ඇය මුදාහැර ඇති බවත් පොලීසිය අධිකරණයට දැන්වීය. දැරියට මෙම ප‍්‍රශ්නය කතිකා කර ගැනීම සඳහා තනිවම විහාරස්ථායට පැමිණෙන ලෙස චීවරධාරියා දැන්වුවත් ඇය යෙහෙළියන් තිදෙනෙකු සමග විහාරස්ථානයට ගොස් ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. 
              මීට මාස 03 කට ඉහතදී මෙම සිද්ධිය සිදුවුවත් දෙසැම්බර් මස අ.පො.ස (සා/පෙළ) විභාගයට ඇය මුහුණ දෙන නිසා සිද්ධියෙන් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් ඇති විය හැකි නිසා විභාගය අවසන් වන තුරු සිද්ධිය පොලීසියට පැමිණිලි නොකිරීමට දැරියගේ දෙමාපියන් තීරණය කර තිබූ බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. අතවරයට ලක් වු බව කියන දැරිය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය පොලීසියට නියෝග කළාය. ගලෙන්බිදුනුවැව පොලීසියේ ස්ථානාධිපති පො.ප චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් 47818 ඉලංගසිංහ මහතා සැකකාර චීවරධාරියාව අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු කියා සිටියේය.

Gossip Lanka Hot News Previous News Archive