රඹකැන් ඔය පිටාර ගලා යාමෙන් නිවාස අඩි හතක් ජලයෙන් යටවෙයි.

රඹකැන් ඔය පිටාර ගලා යාමෙන් මහඔය 69 හන්දියේ සමගිපුර ප්‍රදේශයේ මාර්ග අඩි හතක් පමණ ජලයෙන් යට වී තිබේ. මේ හේතුව මත මහනුවර , අම්පාර මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් අත්හිටුවා ඇත. මහඔය කොඩිතුවක්කු තලාව ප්‍රදේශයේ අළුතින් ඉදිකරන පාලම වෙනුවට යොදා තිබූ විකල්ප මාර්ග ජලයට ගසාගෙන ගොස් ඇත. ඊයේ (16) පස්වරුවේ සිට අද (17) පස්වර් 1 වනවිටත් ධාරණිපාත වර්ෂාවක් නොකඩවා ඇද හැලෙමින් පවතින අතර ජලයේ සර්පයන් ගසාගෙන යන ආකාරය දකින්නට ලැබිණ.
වතුරට ගසා ගෙන ආ සර්පයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වූ අරන්තලාව පොලිස් මුරපොළේ පොලිස් කොස්තාපල්වරයකු මහඔය දිසා ‍ රෝහලට ඇතුළත් කළේය. මේ අතර කොඩිතුවක්කු තලාව පාලම ඉදිකරන ජපන් පෞද්ගලික සමාගමට අයත් ටිපර් රථ දෙකක්, ඩෝසරයක් සහ ට්‍රැක්ටරයක් සම්පූර්ණයෙන් ජලයෙන් යට වී ගොස් ඇත. රඹකැන් ඔයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙන අතර විශාල ජල කඳක් ගලා යමින් තිබේ. මහඔය, බෝගමුයාය ප්‍රදේශයේ පවුල් 18ක් ගංවතුරට කොටු වී සිටිති. ඔවුන් ගලවා ගැනීමට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් හෙලිකොප්ටර් යානාවක් ඉල්ලා ඇතත් අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙලිකොප්ටරය ගෙන්වා ගන්නට නොහැකි වී ඇතැයි මහඔය ප්‍රාදේශීය ලේකම් අනූපම මංගල වික්‍රමආරච්චි මහතා පවසයි. මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හා 69 හන්දියේ පිහිටි ගොවිජන සේවා කාර්‍යාලයේ අවතැන් වූ පවුල් රඳවා සිටිති. මහඔය බැදිරැක්ක උල්පත් කණ්ඩිය වැව් බැම්ම අද දහවල් කඩාගෙන ගිය අතර ඒ අවට ජීවත් වූ පවුල් සියල්ල එම ස්ථානවලින් ඉවත් කර තිබේ.

 මේ අතර ඇලහැර ප්‍රදේශයට ඇද හැලෙව වර්ෂාව හේතුවෙන් කිරිඔය පිටාර ගලා යන්නට පටන් ගෙන ඇති අතර කිරිඔය දෙපස ගොඩගසා තිබූ මැණික් ඉල්ලම් පස් වතුරේ ගසා ගෙන ගියේය.


මාතලේ මරණ 5ක්, නිවාස 300ක් ජලයෙන් යටවෙයි

මාතලේට අද (17) ඇද හැලුණු මහ වැසි හේතුවෙන් අද (17) දහවල් වනවිට පුද්ගල මරණ 05 ක් වාර්තා වී තිබේ. පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි. රත්තොට, වෙලංගහවත්ත, ලෝංවිල්, දික්කුඹුර සහ අලවත්ත ප්‍රදේශවලින් පුද්ගල මරණ වාර්තා වී ඇති අතර බකමූණගල ප්‍රදේශයේ පුද්ගලයෙකු සඳු ග‍‍ගේ සැඩ පහරට අසුවී අතුරුදහන්ව ඇති බව සහන සේවකයෝ කියති. 17 දා දහවල් වනවිට නිවාස 300 ක් පමණ ජලයෙන් යටවී නිවාස රැසකට හානි සිදුව තිබූ බව මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. විල්ගමුව, රත්තොට,බකමූණගල,ඔය පහළ, උකුවෙළ, සහ අඹගහ පිහිල්ල ප්‍රදේශවලදී ගංඟා ඇල දොළ පිටාර ගැලීමෙන් නිවාස ජලයෙන් යටව තිබුණි. මාතලේ මහනුවර ඒ 9 මාර්තයේ තැන් කීපයක පස් කඳු කඩා වැටීම් සිදුව මාර්ග අවහිරතා තිබූ අතර පොලිසිය මැදිහත්ව මාර්ග බාධක ඉවත් කෙරුණි. පරගෙඩිඹය පිටාර ගැලීමෙන් ජලයෙක් කොටුවූ නිවාසක පදිංචි කරුවන් උකුවෙළ හමුදාව මැදිහත්ව බේරා ගැනීමට කටයුතු කෙරුණි.

Gossip Lanka Hot News Previous News Archive